මේ ජනප්‍රිය සන්නාම හැදුන හැටි බලන්නකෝ.


ලෝකේ පුරාම ජනප්‍රිය නිෂ්පාදනවලට උරුම සුවිශේෂී ලාංඡන තියනවා. මේ සමහරක් කොයි තරම් අපේ ඇහැට හුරුද කියනවානම් ලාංඡනය, එහෙමත් නැත්නම් ලෝගෝ එක දැක්ක ගමන් කුඩා දරුවෙක්ට වුණත් ඒ අදා​ළ නිෂ්පාදනය මතකයට නැගෙනවා. මේ සමහරක් ලෝගෝ ගැන අපි දැනගෙන හිටියට ඒ ලෝගෝ නිර්මාණයන් පිටිපස්සේ තියන රසවත් කතන්දර ගැන ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා අපි හිතුවා ජනප්‍රිය ලෝගෝ කීපයක් ගැන ඔයාලට රසවත් කතන්දර ටිකක් කියන්න.

1. ඇපල් (Apple)

ලෝකයේ ජනප්‍රියම සන්නාමයක් වෙන ඇපල් වලින්ම අපි අපේ ලිපිය පටන් ගන්නවා. ඇපල් සමාගමේ මුල් කාලේ ලෝගෝ එක වෙලා තිබ්බේ දැන් තියන කෑල්ලක් කාපු ඇපල් ගෙඩිය නෙමෙයි. ඒ කා​ලේ තිබිලා තියෙන්නේ අයිසැක් නිවුටන් ඇපල් ගහක් යට ඉඳගෙන ඉන්න චිත්‍රයක්. පස්සේ කාලෙක ඇපල් සමාගමේ ප්‍රධානියෙක් වුණු ස්ටීව් ජොබ්ස් හිතලා තියනවා මේ ලෝගෝ එක පරණ තාලේ වැඩිය කියලා. ඒ වෙනුවට ඔවුන් සරළ ලෝ​ගෝවක් නිර්මාණය කරන්න ගන්නවා. ඒ අනුව දක්ෂ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් වුණු රොබ් ​ජැනොෆ් තමයි වර්තමාන ඇපල් ලෝගෝ එක නිර්මාණය කරන්නේ. අදටත් ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙන දෙයක් තමයි ඇපල් ලෝගෝ එකේ ඇ​පල් ගෙඩියේ කෑල්ලක් කාලා තියෙන්නේ ඇයි කියන එක. සම්පූර්ණ ඇපල් ගෙඩියේ පින්තූරයක් චෙරි ගෙඩියක් කියලා මිනිස්සු වරදවා වටහාගන්න ඉඩ තියන එ​ක වළක්වන්න තමයි මේ විදිහට කෑල්ලක් කාපු ඇපල් ගෙඩියක් ලෝගෝ එකට අරගෙන තියෙන්නේ. මුලදී වර්ණ කීපයක් සහිත ඇපල් ගෙඩියක් හැටියට තිබ්බ මේ ලෝගෝ එක අද වෙද්දි තනි වර්ණ ඇපල් ගෙඩියක් හැටියටයි පවතින්නේ.

2. නයිකි (Nike)

ක්‍රීඩා පාවහන් සහ ඇඟලුම් සම්බන්ධ ලෝක ප්‍රකට සන්නාමයක් වන නයිකී වල ලෝගෝ එක අපි නම් ‘හරිය’ කියලයි හඳුන්වන්නේ. ඒ කාලේ හරිය පිටේ ගහපු ටී ෂර්ට් කියලා නයිකි ටී ෂර්ට් එහෙම ලංකාවේ තරුණයන් අතරේ අතිශයින් ජනප්‍රිය වුණා. මේ ක්‍රීඩා ඇඟළුම් ආයතනය ආරම්භ කරන්නේ 1964 දීයි. නමුත් නයිකි යන නම ඔවුන් භාවිතා කරන්න ගන්නේ 1978 දී. නයිකි කියන්නේ ජයග්‍රහණයට අධිපති ග්‍රීක දෙවඟනකගේ නමක්. මේ නමට යටින් එන හරි ලකුණට සමාන කොටස හදලා තියෙන්නෙත් ඒ දෙවඟනගේ පියාපතක හැඩය සිහි වෙන්න කියලයි කියන්නේ. නයිකි දෙවඟනගේ බලය මගින් වීරයන්ට විශාල චිත්ත ධෛර්යයක් සහ බලයක් හිමිවෙනවා කියලයි ග්‍රීක පුරාවෘත්ත වල තියෙන්නේ. ඒ අනුව සංකේතාත්මකව ගත්තහම නයිකි ක්‍රීඩා ඇඟළුම් පළඳින ක්‍රීඩකයන්ටත් අමතර ශක්තියක් එයින් ලැබෙන බව තමයි එයින් අදහස් කෙරෙන්​නේ.

3. බීඑම්ඩබ්ලිව් (BMW)

Bayerische Motoren Werke එහෙම නැත්නම් ලොවක් හඳුනන BMW කියන්නේ ලෝක ප්‍රසිද්ධ ජර්මානු බහු ජාතික සමාගමක්. 1916 දී අරඹපු මේ සමාගම මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ ගුවන් යානා එන්ජින්. ඉන් පස්සේ සුඛෝපභෝගී රථ වාහන වෙළඳපොළත් ඔවුන් ආක්‍රමණය කරනවා. නිල් සහ සුදු කොටු සහිත වෘත්තාකාර හැඩැති ලෝගෝවක් තමයි ඔවුන් තමන්ගේ සන්නාමයට භාවිතා කරන්නේ. ගොඩක් දෙනෙක්ගේ විශ්වාසය තමයි මේ ලෝගෝවෙන් අදහස් කරන්නේ ගුවන් යානයක අවර පෙත්තක් කැරකීමේදී පෙනෙන වර්ණය බව. අවර පෙත්තේ සුදු පාට සහ අහසේ නිල එයින් සංකේතවත් වෙන බව පවසන ඒ උදවියගේ මතය ගොඩ දෙනෙක් ඇත්තක් හැටියට පිළිගන්නේ මුල් කාලයේදී BMW සමාගම ගුවන් යානා එන්ජින් නිපදවූ නිසයි. නමුත් ඇත්ත කතාවේ හැටියට නම් මේ නිල් සහ සුදු කොටු වලින් සංකේතවත් වෙන්නේ ජර්මානු බවේරියා ප්‍රාන්තයේ කොඩියේ වර්ණයයි. ඒ ගැන ඔබට පහත වීඩියෝවෙන් පැහැදිළි වේවි.

4. බාස්කින් රොබින්ස් (Baskin Robbins)

අයිස් ක්‍රීම් පිස්සෝ දෙන්නෙක් වුණු බර්ට් බාස්කින් සහ අර්ව් රොබින්ස් කියන දෙමස්සිනාලා මුල් කාලේ වෙන වෙනම අයිස් ක්‍රීම් පාලර් පවත්වාගෙන ගියපු උදවිය. පස්සේ මේ දෙන්නාගේ අයිස්ක්‍රීම් බිස්නස් දෙක එකතු කරලා තමයි මේ බාස්කින් රොබින්ස් බිහි කරන්නේ. 1948 දී සිදු වුණ මේ එකතු වීමෙන් පස්සේ විවි​ධ රස රැසක් එක්ක විකුණපු මෙයාලාගේ අයිස් ක්‍රීම් තව තවත් ජනප්‍රිය වෙනවා. ඉන් පස්සේ මෙයාලට ඕනෙ වෙනවා තමන්ට හොඳ ලෝගෝ එකක් නිර්මාණය කරගන්න. මේ වැඩේ ඔවුන් බාර දෙන්නේ Ogilvy and Mather කියන දැන්වීම් ප්‍රචාරණ ආයතනයට. ඔවුන් විසින් “මාසේ හැම දවසකටම අලුත් රසක්” කියන සංකල්පය අනු​ව බාස්කින් රොබින්ස් ලෝගෝවේ BR අකුරු මැදින් මාසේ දින 31 සංකේතවත් වෙන්න 31 ඉලක්කම එන විදිහට මේ ලෝගෝව නිර්මාණය කරනවා (නිල් පාට අකුරු මැද රෝස පාටින් 31 ඔබට දකින්න පුළුවන්). මේ වෙද්දී ඔවුන් සතු​ව දහසකටත් වඩා අයිස්ක්‍රීම් රසයන් තිබුණත්, අදටත් මේ නිර්මාණශීලී ​ලෝ​ගෝව තමයි වසර හැත්තෑවක විතර කාලයක් තිස්සේ භාවිතා වෙන්නේ.

5. ජිලට් (Gillette)

කිංග් සී. ජිලට් විසින් 1901 දී අරඹපු මේ රැවුල බාන රේසර් ව්‍යාපාරය අද වන තුරුත් පිරිමි වගේම කාන්තාවන්​ගේත් රේසර් නිෂ්පාදන අතර ඉහළ තැනක් හිමි කරගෙන ඉන්නවා. ජිලට් ලෝගෝව අපිට ඇහැට හොඳ හුරු පුරුදු වුණත් පෙනුම ගත්තහ​ම ඒ හැටි විශේෂයක් නැති ලෝගෝවක්. හැබැයි, වැඩි දෙනෙක් නොදන්නවා වුණාට තරමක් ඇල මහත අකුරුවලින් ජිලට් කියලා සටහන් වෙලා තියන මේ ලෝගෝවේ සැඟවුණු පොඩි සංඥාවක් තියනවා. ඔයා ජිලට් ලෝගෝවේ G සහ I අකුරු දිහා විමසිලිමත්ව බැලුවොත් ඒ සැඟවුණු දේ දැකගන්න පුළුවන්. ඒ අකුරු දෙක දිහා බලද්දී ඔයාට පෙනේවි තරමක් ඇල හැඩයකට මේ අකුරු දෙක කැපිලා ගිහින් තියෙන වග. ඒ කැපිලා තියෙන කොටස් දෙක නිසා බ්ලේඩ් තල සිහිකරව​න මුවහත් බවක් මේ ලෝගෝ එකට කාවැද්දිලා තියනවා. මහත ජිලට් අකුරුවලින් ශක්තිමත් සහ ආරක්ෂාකාරී බවත්, සැඟවුණු බ්ලේඩ් සලකුණෙන් තියුණු මුවහත් බවත් මේ හරහා රහසේම මතු කරලා තියෙනවා.

6. නෙස්ලේ (Nestle)

රසවත් ආහාර පා​න එක්ක බැඳිලා තියන හොඳම මතකයක් වන නෙස්ලේ නිෂ්පාදනවල ලෝගෝවත් හැමෝම අතර අතිශය ජනප්‍රියයි. කුරුළු කූඩුවක සංකේතයක් තියන මේ ලෝගෝව නෙස්ලේ හි නිර්මාතෘ හෙන්රි නෙස්ලේ ගේ නම එක්කත් සම්බන්ධයි. මොකද ජර්මානු බසින් “කැදැල්ල” කියන අරුත තමයි මේ නෙස්ලේ නමට එන්නේ. ඒ විතරක් නෙමෙයි, නෙස්ලේ සමාගමේ ලෝගෝව බිහිවෙලා තියෙන්නෙත් හෙන්රි නෙස්ලේගේ පරම්පරාවේ ලාංඡනයක් වන කූඩුවක ඉන්න කුරුල්ලෙක්ගේ ලාංඡනය ඇසුරින්. මේ පවුලේ ලාංඡනය මදක් වෙනස් කරන හෙන්රි නෙස්ලේ කූඩුවක ඉන්න කුරුළු පැටවුන් තිදෙ​නෙක්ට හොටින් ආහාර රැගෙන ඉන්න කුරුළු මවක් සහිත ලාංඡනයක් නිර්මාණය කරනවා. පස්සේ කාලෙක මේ ලාංඡනය තවත් වෙනස් වෙනවා. කුරුළු පැටවුන් තුන් දෙනා දෙන්නෙක් බවට අඩු වෙලා කුරුළු මවගේ හොටේ තියන ආහාරය ඒ ලෝගෝවෙන් ඉවත් වෙනවා.

7. ටොබ්ලෙරෝන් (Toblerone)

සියවසකට වඩා දිගු ඉතිහාසයක් තියන රසවත්ම ස්විස් චොක්ලට් නිෂ්පාදන සමාගමක් තමයි ටොබ්ලෙරෝන් කියන්නේ. රසවත්බවට අමතර​ව ටොබ්ලෙරෝන් ජනප්‍රිය වෙන්න බලපාපු විශේෂ කාරණ​යක් තමයි ටොබ්​ලෙරෝන් චොක්ලට් පිරමීඩ ස​හ ප්‍රිස්මාකාර හැඩයකින් යුක්ත වී​ම. ගොඩක් දෙනෙක් ටොබ්ලෙරෝන් ලාංඡනයේ දකින්නේ කන්දක්. නමුත් වැඩි දෙනෙක් නොදන්නවා වුණාට ඒ කන්ද මැද්දේ සැඟවිච්චි වලසෙක්වත් දකින්න පුළුවන් ටිකක් අවධානයෙන් බැලුවොත්. ටොබ්ලෙරෝන් ​ලෝගෝවේ එන මේ කන්ද වන ‘මැටර්හෝන්’ කන්​ද පිහිටලා තියෙන්නේ ටොබ්ලෙරෝන් බිහිවෙච්ච ස්විට්සර්ලන්තයේ බර්න් ප්‍රදේශයේයි. ඒ වගේම මේ බර්න් නගරය හඳුන්වන්නේ “වලසුන්ගේ නගරය” හැටියටයි. ඒ නිසයි ටොබ්ලෙරෝන් ලෝගෝවට කන්දක් සහ වලහෙක් ඇතුළත් වෙන්නේ.


Like it? Share with your friends!

0

මේ ජනප්‍රිය සන්නාම හැදුන හැටි බලන්නකෝ.

log in

reset password

Back to
log in