Online Sinhala

Online Sinhala Magazine

ක්ෂය රෝගයෙන් අත් මිදෙමු

ක්ෂය රෝගය කියු සැණින් අප සිතට නැගෙන්නේ බියකි. නැත හොත් තැති ගැනීමකි. එයට හේතුව නම් අතීතියේදී ක්ෂය රෝගය හෙවත් කාස රෝගයට ගොදුරු වූ පුද්ගලයන් පැවති සමාජයෙන් කොන්කිරීමයි. නමුත් අද වන විට ක්ෂය රෝගය නිවැරදිව හඳුනාගෙන, නිසි ප්‍රතිකාර ගැනීමෙන් නිට්ටාවට සුව කර ගත හැකි බව පිළිගෙන හමාරය. මයික්‍රොබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් (Mycobacterium tuberculosis) නමැති බැක්ටීරියාව මගින් ඇති වන ක්ෂය රෝගය ශරීරයේ ඇති වන තැන අනුව දෙයාකාර වේ. පෙනහලු ආශ්‍රිතව ඇති වන ක්ෂය රෝගය (Pulmonary Tuberculosis _ PTB) සහ පෙනහළු වලින් පරිබාහිරව ඇති වන ක්ෂය රෝගය (Extra Pulmonary Tuberculosis – EPTB) ලෙසය. පෙනහලු ආශ්‍රිතව ඇති වන ක්ෂය රෝගයේදි රෝග කාරක බැක්ටීරියාව පෙනහලු පටක වලට හානි සිදු කරමින් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වර්ධනය වේ. මෙසේ ඇති වන රෝගය පෙනහලු ක්ෂය රෝගය ලෙස හැඳින්වේ. පෙනහලු වලින් පරිබාහිරව ක්ෂය රෝග කාරක බැක්ටීරියාව වර්ධනය විමෙන් වසා ගැටිති ඉදිමීම, උරස් කුහරයේ වතුර පිරීම අස්ථි ආශ්‍රිතව බැක්ටීරියා වර්ධනය වීම, මොළයේ උදරයේ සහ වකුගඩු වලද ක්ෂය රෝග කාරක ඇති විය හැකිය.

රෝගය බෝ වීම – ක්ෂය රෝගය ශීඝ්‍ර ලෙස පැතිරීම සිදු වන්නේ ප්‍රතිකාර නොගන්නා රෝගීන්ගෙන් සහ පෙනහලු ආශ්‍රිතව ක්ෂය රෝගයෙන් පෙළෙන්නන්ගෙනි. විශේෂයෙන්ම එවැනි රෝගීන් කසින විට, කිවිසුම් හරින විට සිනාසෙන විට කතා කරන විට සහ හුස්ම ගන්නා විට, පියවි ඇසට නොපෙනෙන විෂබීජ සහිත සෙම බිඳිති වාතයට එකතු වේ. මෙම විෂ බීජ සහිත බිඳිති ආශ්වාස කිරීමෙන් නිරෝගී පුද්ගලයෙක් ද ආසාදනය විය හැක.

  1. ක්ෂය රෝගය රෝග ලක්ෂණ
  2. සති දෙකකට වඩා පවතින කැස්ස
  3. රාත්‍රී කාලයේ ඇති වන මද උණ ගතිය
  4. වෙනත් හේතූවක් නොමැතිව ශරීරයේ බර අඩු වීම
  5. රාත්‍රී කාලයේ අධික ලෙස දහඩිය දැමීම
  6. අාහාර අරුචිය
  7. හුස්ම ගැනිමේ අපහසුව
  8. වෙහෙසකාර බව
  9. පපුවේ වේදනාව
  10. සෙම සමග ලේ පිට වීම

මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ක්ෂය රෝයට ගොදුරු වූ වැඩිහිටියෙකුගෙන් දක්නට ලැබේ. කුඩා දරුවෙකුට බැක්ටීරියාව ඇතුළු වීමෙන් ඇති වන රෝග ලක්ෂණ නිශ්චිතවම දැන ගත නොහැකි බැවින් රෝගය විනිශ්චය කිරීම තරමක් අපහසුය. විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් දිගටම පවතින්​නේ නම් රෝගය පිළිබඳ නිවැරදිව තහවුරු කර ගැනීම ඉතාම වැදගත්ය. මයික්‍රොබැක්ටීරියම් ටියුබර්කියුලොසිස් බැක්ටීරියාව පැතිර යාමෙන් මොළයට, අස්ථී වලට සහ ස්නායු පද්ධතියට හානි සිදු විය හැකි බැවින් විශේෂයෙන්ම කුඩා දරුවන්ට රෝගය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාම වැදගත්ය. වසරකට ක්ෂය රෝගය ගොදුරු වූ බවට වාර්තා වෙන ළමා රෝගීන් සංඛ්‍යාව 200 – 300 අතර වෙන බැවින් ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්ය.

රෝගය හඳුනා ගැනීම – ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ශරීර ගත වී ඇද්ද යන්න නිවැරදිව හඳුනා ගැනීමට සෙම පටල පරීක්ෂාව එක්ස් රේ පරීක්ෂාව මාධ්‍යයක රෝපණ කර හඳුනා ගැනීම, පී.සී.ආර්. පරීක්ෂාව ආදි පර්​ෙ‌ය්ෂණ සිදු කර ගත හැකිය. වර්තමානය වන විට පර්​ෙ‌ය්ෂණාගාර වල නවීන තාක්ෂණය උපයෝගි කොට ගනිමින් සිදු කරනා පර්​ෙ‌ය්ෂණයන් ද ක්ෂය රෝගය හඳුනා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

ප්‍රතිකාර – රජයේ රෝහල් වල ස්ථාපිත කර ඇති ළය චිකිත්සකාගාර වලින් පහසුවෙන් ක්ෂ්‍්‍ය රෝග කාරක බැක්ටීරියාව මර්දනය කිරීම සඳහා ඖෂධ ලබා ගත හැක. බැක්ටීරියාව මර්දනයට ලබා දෙන ඖෂධ වර්ග වෛද්‍යවරයා නියම කරන කාලයක්, නියමිත මාත්‍රාවෙන් නියම වේලාවට ගැනීමෙන් රෝගය පැතිරීම මෙන්ම රෝගය නිට්ටාවට සුව කර ගැනීම ද පහසුවෙන් කළ හැක.

වළක්වා ගැනිමට – ක්ෂය රෝගය නිවැරදිව හඳුනා නොගන්නා තත්ත්වයකදී රෝග කාරක බැක්ටීරියාව ශරීරයට ඇතුළු වී ශරීරය පුරා පැතිර ගිය හොත් මොළයට ස්නායු පද්ධතියට අස්ථි වලට පමණක් නොව ශරීරයේ සියලු පද්ධතීන් සදාකාලිකව අකර්මණ්‍ය කිරීමට හැකිබැවින් නිසි ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාම වැදගත්ය.cඅලුත උපන් බිළිඳන් වෙනුවෙන් BCG එන්නත් අනිවාර්යෙන්ම ලබා දිය යුතුය. මෙම එන්නත ලබා දිමෙන් ක්ෂය රෝගය ඇති වීම වැළැක්වීමක් සිදු නොවන අතර රෝගය කුමන ​ හේතුවකින් හෝ ශරීරයට ඇතුළු වුවහොත් රෝග කාරක බැක්ටීරියාව ශරීරය පුරා පැතිරීම වළක්වාලයි. ගර්භනී මවකට ක්ෂය රෝගය වැළඳුන හොත් ඊට අදාළ ප්‍රතිකාර වෙනමම සිදු වන අතර එවැනි මවක් බිහි කරනා දරුවාට ඉපදුණු සැණින් BCG එන්නත ලබා දීමක් සිදු නොවන අතර එවැනි අවස්ථා වලදී, වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළි පැදීම ඉතාම වැදගත්ය. පෙනහලු ක්ෂය රෝගයට ගොදුරු වූ රෝගියෙකු සමග ගැටෙනා දරුවන් වෙනුවෙන් ද ප්‍රතිකාර කළ යුතුය. විශේෂයෙන් ක්ෂය රෝගියෙකු හා ගැටුණු වයස අවුරුදු පහට අඩු දරුවෙකු මෙන්ම වයස අවුරුදු පහට වැඩි දරුවන් වෙනුවෙන් වෙන වෙනම ප්‍රතිකාර කළ යුතු අවස්ථා මතු විය හැකිය. එහෙයින් රෝග ලක්ෂණ නොපෙන්වුවද රෝගියෙකු හා ගැටුණු දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්ය.

රෝගයට ගොදුරු වූ රෝගියාව නිසි කාලයක් ප්‍රතිකාර ගන්නා තුරු නිවෙසේ වෙනමම තැනක තැබිය යුතුය. රෝගියා සිටිනා නිවසේ කාමරයට ප්‍රමාණවත් හිරු ආලෝකයක්, වාතාශ්‍රයක් තිබිය යුතුය. රෝගියා කසින කිවිසින විට මුඛය ලේන්සුවකින් ආවරණය කළ යුතුය. කිසි විටෙකත් රෝගියාගේ කෙළ ආදිය බාහිර පරිසරයට මුදා නොහැරිය යුතුය. රෝගියා පරිහරණය කරන පිඟන් කෝප්ප නිතර උණු වතුරෙන් සේදිය යුතු අතර කොට්ට මෙට්ට ඇඳුම් ආදිය අව්වේ වේලා ගත යුතුය. රෝගයෙන් පෙළෙන්නා කිසි විටෙකත් මත් පැන් දුම් වැටි ආදිය භාවිත නොකළ යුතුය. පෝෂ්‍යදායි ආහාර සහ පිරිසිදු ජලය සුරක්ෂිතව ලබා ගැනීම ද වැදගත්ය. සැක සහිත රෝගීන් සහ දැනට ක්ෂය රෝගියා සමග නිතර ගැටෙන්නන්ට ද බැක්ටීරියාව ශරීර ගත වී ඇද්දැයි පර්​ෙ‌ය්ෂණයන්ට භාජනය වී නිශ්චිතව දැන ගැනීම කළ යුතුය.
රෝගය හේතුවෙන් අවදානම් විය හැකි පිරිස. නිසි ප්‍රතිකාරයන්ගෙන් ක්ෂය රෝගය නිත්තාවට සුව කර ගතහැකි වුවද රෝග කාරක බැක්ටීරියාව ශරීර ගත වීමෙන් අවදානම් තත්ත්වයට පත් විය හැකි පිරිසක් ද වේ. මයික්‍රොබැක්ටීරියව් ටියුබර්කියුලෝසිස් බැක්ටීරියාව ශරීර ගත වී ප්‍රතිකාර නොගෙන අතුරු ආබාධයන්ට ලක් වූවන්ට එච්.අයි.වී. ආසාදිතයන් ඒඩ්ස් රෝගින් ගර්භනී මව්වරුන් කිරි දෙන මව්වරුන්ට ළදරුවන්ට වයස අවුරුදු 50 ට අඩු දරුවන් සහ විවිධ වයස් කාණ්ඩවල පසු වන දරුවන්ට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි දුර්වලතා ඇති දරුවන්ට සහ වැඩිහිටියන්ට ද මෙම බැක්ටිරියාව ශරීර ගත වූ විට සංකූලතා තත්ත්වයකට පත් විය හැක.