Online Sinhala

Online Sinhala Magazine

විරාත් කෝලි නළුවන් පරදා ජනප්‍රියත්වයෙන් ඉහලටම ආ රහස

ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයන් (Celebrities) අතරින් වඩාත්ම සාර්ථක පුද්ගලයන් කවුද යන්න හෙළිකරන ශේ්‍රණිගත කිරීමක් පසුගියදා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වුණා. සෑම වසරකම මේ ආකාරයෙන් ශේ‍ර්ණිගත කිරීමක් සිදු කරන්නේ සුප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝබ්ස්’ (Forbes) නමැති සඟරාවයි. එම සඟරාව නිකුත් කර ඇති 2019 ශේ‍ර්ණිගත කිරීමට අනුව ඉන්දියානු නළු නිළියන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මෙහි ඉහළ ස්ථාන දිනාගැනීමට සමත්ව සිටිනවා. පසුගිය වසරවල දිගටම වාගේ මෙහි අංක 1 ස්ථානය දිනාගන්නට සමත්ව සිටියේ බොලිවුඩ් නළුවන්. නමුත් මේ වසරේ පළමු වතාවට එම සම්ප්‍රදාය බිඳ වැටී තිබෙනවා. මෙවර එහි අංක 1 ස්ථානයට පත්ව සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි. 2016 වසරේ සිට දිගටම මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටියේ ජනප්‍රිය නළු සල්මාන් ඛාන් වුවත් මෙවර කෝලි ඔහු අභිභවා යෑමට සමත්ව සිටිනවා. සල්මාන්ට මෙවර හිමිව ඇත්තේ තුන්වැනි ස්ථානයයි. ආක්ෂේ කුමාර් තමයි දෙවැනි ස්ථානය දිනාගෙන සිටින්නේ.

මෙම ශේ‍ර්ණිගත කිරීම සකස් කිරීමේදී 2018 ඔක්තෝබර් 1 වැනි දින සිට 2019 සැප්තැම්බර් 30 වැනි දින දක්වා මෙම පුද්ගලයන් උපයා ඇති ආදායම ගැන වගේම ඔවුන් දිනාගෙන සිටින ප්‍රසිද්ධිය ගැනත් සැලකිල්ල යොමු කළ බවයි ෆෝබ්ස් සඟරාව පවසන්නේ. විරාත් කෝලි එම කාලය තුළ උපයා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 253ක් (ලංකා රුපියල් කෝටි 645ක්) ලෙස සඳහන් වෙනවා. ආක්ෂේ කුමාර් උපයා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 293ක් (ලංකා රුපියල් කෝටි 747ක්) ආදායම අතින් ආක්ෂේ කෝලිට වඩා ඉදිරියෙන් සිටියත් ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය පිළිබඳ කාරණයද සැලකිල්ලට ගත් විට කෝලි ආක්ෂේ අභිභවා ගොස් ඇති බවයි පැවසෙන්නේ. ඉන්දියානු නළු නිළියන් අතරින් මෙම ලැයිස්තුවේ මුල් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව සිටින්නේ කාන්තාවන් දෙදෙනකු පමණයි. ඒ ආලියා බාත් සහ දීපිකා පදුකෝන්. ආලියා මෙහි 8 වැනි ස්ථානයත්, දීපිකා 10 වැනි ස්ථානයත් දිනාගෙන සිටිනවා. 1 සිට 10 දක්වා ස්ථාන දිනා සිටින 10 දෙනා පිළිවෙළින් මෙසේයි: විරාත් කෝලි, ආක්ෂේ කුමාර්, සල්මන් ඛාන්, අමිතාභ් බච්චන්, එම්.එස්. දෝනි, ෂාරුක් ඛාන්, රන්වීර් සිං, ආලියා බාත්, සචින් තෙන්දුල්කාර්, දීපිකා පදුකෝන්. අජේ දේව්ගන් සහ අමීර් ඛාන් දෙදෙනා පිළිවෙළින් 12 සහ 15 යන ස්ථාන දිනාගෙන සිටිනවා. තවත් ජනප්‍රිය නිළියක වන ප්‍රියංකා චොප්රාට මෙවර හිමිව ඇත්තේ 14 වැනි ස්ථානයයි. විරාත් කෝලි පළමු තැන දිනාගනිද්දී ඔහුගේ බිරිය වන ජනප්‍රිය නිළි අනුෂ්කා ෂර්මා හිමි කරගෙන සිටින්නේ 21 වැනි ස්ථානයයි. රිතික් රොෂාන් පසුවන්නේ 18 වැනි ස්ථානයේයි.

දකුණු ඉන්දියානු නළුවන් අතරින් ඉහළින්ම සිටින්නේ රජිනි කාන්ත්. ඔහු මෙම ශේ්‍රණිගත කිරීම තුළ 13 වැනි ස්ථානය දිනාගැනීමට සමත්ව සිටිනවා. විජේ සහ කමල් හසන් පිළිවෙළින් 47 සහ 56 යන ස්ථානවල පසුවෙනවා. සුප්‍රකට සංගීතඥ ඒ.ආර්. රහමාන්ට හිමිව තිබෙන්නේ 16 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස් මෙම ලැයිස්තුවේ 32 වැනි තැනට පත්ව සිටීමත් විශේෂත්වයක්. 2018 වසරේ 40 වැනි ස්ථානයේ සිටි ඇය මේ වසරේ ස්ථාන 8කින් ඉහළට පැමිණීමට සමත්ව සිටිනවා. ඇය ඉහත කී කාලසීමාව තුළ උපයා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 9.5ක්. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 24කට ආසන්නයි.