අනාගතයෙදී හැදෙන දකුණු කොරියාවේ සුපිරි ඉලෙක්ට්‍රික් කාර්


වසර 2021 -2027 දක්වා කාලය තුළ ස්වයංක්‍රිය මෝටර් රථ තාක්ෂණයක් එළි දැක්වීම 2025දී පියාඹන කාර් ගුවන්ගත කිරීමත් අරමුණු කර ගත් සැලැස්මක් සඳහා වොන් ට්‍රිලියන 1.7ක් (පවුම් බිලියන 1.1) ආයෝජනය කරන බව දකුණු කොරියාව නිවේදනය කර ඇත. ඊටද අමතර වූ මෝටර් රථ තාක්ෂණයේ අනාගත වැඩි දියුණුව සඳහා වොන් ටි්‍රලියන 41ක් (පවුම් බිලියන 27.4ක්- ඩොලර් බිලියන 34.7ක්) වසර 2025 වන විට ආයෝජනය කිරීමට අදහස් කරන බවද “හ්‍යුංඩායි මෝටර් ගෘෘප්” ආයතනය ප්‍රකාශ කළේය. ස්වයංක්‍රිය මෝටර් රථ නිෂ්පාදන තරගයෙහි යෙදෙන සෙස්සන් හා සම තැන් ගැනීමට දකුණු කොරියාව දරන ප්‍රයන්තය මෙයින් පෙනේ යැයි විචාරකයෝ කියති. විදුලිබලයෙන් ක්‍රියාත්මක වන කාර් සහ වෙනත් වාහන නිෂ්පාදනය සඳහාද අරමුදල් යොදවනු ලබන අතර, අන්තර්ජාල ප්‍රවේශ සහ ඇතැම් විට රැහැන් රහිත ජාල පද්ධතිද සහිතව එම වාහන සැලසුම් කෙරෙණු ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථානය වශයෙන් ගෙන ක්‍රියාත්මක වන “ඇප්ටිව්” (Aptiv) නමැති ස්වයංක්‍රිය මෝටර් රථ තාක්ෂණ ආයතනය සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව හ්‍යුංඩායි සහ අනුබද්ධ ආයතනද ප්‍රකාශ කිරීමෙන් පසු එම කරුණු අනාවරණය විය. හ්‍යුංඩායි ආයතනයේ ස්වයංක්‍රිය වාහන තාක්ෂණය දිරිගැන්වීම සඳහා සහයෝගය දැක්වීමට තීරණය කළ දකුණු කොරියා රජය, 2021 -2027 දක්වා කාලය තුළ සමාගම ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන වොන් ටි්‍රලියන 1.7 මුදල සමාගමට දීමට කැමැති බව නිවේදනය කර ඇත.

ස්වයංක්‍රිය වාහන මිලට ගැනීමට කැමැති ගනුදෙනු කරුවනට 2024දී ඒ අවස්ථාව උදාවන අන්දමින්ද 2027දී පොදු ප්‍රවාහනය සඳහා රට පුරා ස්වයංක්‍රිය වාහන යොදා ගත හැකි වන අන්දමින්ද එම තාක්ෂණය වැඩිදියුණු කිරීමට හ්‍යුංඩායි ආයතනයට හැකිවනු ඇතැයි දකුණු කොරියා රජය බලාපොරොත්තු වෙයි. දකුණු කොරියාවේ මෝටර් රථ තාක්ෂණයේ මේ නවතම ප්‍රගමනය එරට ජනාධිපති මුන් ජායේ – ඉන් සියෝල් අගනුවර ආසන්නයේ හ්‍යුංඩායි මෝටර් රථ පර්යේෂණ කේන්ද්‍රයේ පැවැති උත්සවයකදී කළ නිවේදනයක ප්‍රතිඵලයකි. රජය අරමුදල් සපයන මෙම තාක්ෂණයට අදාළ සියලු අංශ පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක තමන් දැනටමත් යෙදී සිටින බවද රජය ප්‍රකාශ කළේය. පස්වැනි පරම්පරාවට අයත් ජංගම දත්ත ජාල යනාදිය තිබියදීත් ස්වයංක්‍රිය කාර් සඳහා අවශ්‍ය මෘදුකාංග, ප්‍රධාන අමතර කොටස් හා සංවේදක යනාදිය අතින් තමන් මෙතෙක් පසුබා ඇතැයි ද දකුණු කොරියාව කියයි. එහෙත් දැන් තම රට දහන එන්ජින් මෝටර් රථවල සිට අනාගත මෝටර් රථ තාක්ෂණය කරා ගමන් කරමින් සිටිතැයි දකුණු කොරියානු කර්මාන්ත ඇමැති සුං යූන් මෝ මාධ්‍ය හමුවකදී පැවසීය. වසර 2025 වන විට පියාඹන කාර්වල ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණ විද්‍යාත්මක හා නෛතික පදනම සකස් කර ගැනීමටද රජය බලාපොරොත්තු වෙයි. ඉතා දියුණු තාක්ෂණයෙන් යුත් ස්වයංක්‍රිය කාර්වලට කලින් පියාඹන කාර් වාණිජකරණය කිරීමට තම ආයතනය උත්සාහ කරන බව හ්‍යුංඩායි මෝටර් සමාගමේ විධායක උප සභාපති ඉයුසන් චූං ප්‍රකාශ කළේය.

අවට ලෝකය හඳුනා ගැනීම සඳහා ස්වයංක්‍රිය කාර්වල වැඩි වශයෙන් භාවිතවන්නේ සාමාන්‍ය ද්විමාන කැමරා සහ තීව්‍රතා සංවේදක ලිඩාර් ඒකක සංතුලනයකි. එහෙත් මාර්ගවල පිළිබිඹු දක්වන දෘශ්‍යලෝක කැමරා අනෙක් කාර්වල භාවිත කරනු ලැබේ. ඉදිරියේ සිටින මිනිසුන්, තිබෙන සලකුණු හා බාධක ඉතාම නිවැරැදිව හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධියෙන් යුත් ‘ක්ලිප්’ (clips) දහස් ගණනක්ද මීට ඇතුළත්ය. වේමෝ (Waymo) ආයතනය විසින් භාවිත කෙරෙන ‘ලිඩාර්’ (Lidar Light Detection and Ranging) ස්කෑනයෙන් ස්පන්දනය වෙමින් නික්මෙන කෙටි ලේසර් තරංග බාධකයක ගැටුණු විට ඉතා වේගයෙන් ආපසු ගමන් කරයි. මෙම සංවේදක ස්කෑන් කාරයේ ඇස් මෙන් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙමින් කාරය අවට සියල්ල ග්‍රහණය කර ගනී. පසුගිය වසරේ නොවැම්බරයේදී ‘ඇපල්’ ආයතනය ඉදිරියෙන් යන පදිකයන් හා පාපැදිකරුවන් දුරදීම හඳුනාගත හැකි ලේසර් සහිත, රියැදුරු රහිත කාර් නිෂ්පාදන සැලැස්මක් අනාවරණය කළේය. ලිඩාර් (Lidar) දත්ත මගින්ද එම කාර්යය ඉටුකර ගැනීම සඳහා තමන් විසින් කරන ලද පර්යේෂණයෙන්ද තමනට ඉතාම විශිෂ්ට හා බෙහෙවින් දිරිගන්වනසුලු ප්‍රතිඵල ලැබුණු බව ‘ ඇපල්’ ආයතනය ප්‍රකාශ කළේය. ඇතැම් ස්වයංක්‍රිය කාර් කැමරා, සංවේදක හා ලේසර් යන තුන් වර්ගයේ සංකලනය මත රැඳී තිබෙන අතර කැමරා 28ක්ද සංවේදක හා ලේසර් ද සහිත “වොල්වෝස්” ස්වයංක්‍රිය කාර් ඊට උදාහරණ වශයෙන් සඳහන් කළ හැකි යැයිද පර්යේෂකයෝ කියති. ස්වයංක්‍රිය කාරය වටේ සවිකෙරෙන අතිධ්වනි සංවේදක ‍ෙදාළසක් වාහනයට සමීපව තිබෙන බාධක හඳුනා ගැනීමත් වාහනය ස්වයංක්‍රීයවම අඩු වේගයෙන් ධාවනය වීමත් සඳහා උපයෝගි කර ගනු ලැබේ.

කාරයේ වින්ස්ක්‍රීනයෙහි සවිකෙරෙන තරංග රේඩාරයක හා කැමරාවක, ධාවනය වන අනෙක් වාහන, මාර්ග සංඥා, වංගු, මාර්ග බාධක සහ පදිකයෝද දැක්වෙති. දිගු පරාසයක් ග්‍රහණය කර ගන්නා රේඩාර් වාහනයේ බම්පරමත සවි කර ගැනීමෙන් ස්වයංක්‍රිය කාරය පසුපසින් වේගයෙන් එන වාහන හඳුනා ගත හැකි වන අතර විංග් මිරර් මත දෙකක්ද ගි්‍රලය මත එකක් හා පසුපස බම්පරය මත එකක්ද වශයෙන් සවිකෙරෙන කැමරා හතරකින් කාරයට සමීප බාධක සහ මාර්ග සලකුණුද දැක්වෙයි.


Like it? Share with your friends!

0

අනාගතයෙදී හැදෙන දකුණු කොරියාවේ සුපිරි ඉලෙක්ට්‍රික් කාර්

log in

reset password

Back to
log in