Online Sinhala

Online Sinhala Magazine

හදවත නතර වී පැය හයක් ගිය පසු විශ්මිත සැත්කමකින් දිවි ගලවාගත් කාන්තාව

ලොව හද සසල කරවන පුවත්වලට ලැබෙන්නේ ඉහළ තැනක් වන නිසාම ඒවා ලොවපුරා පැතිර යෑමේ වේගයද වැඩිය. මේ කියන පුවත් විදෙස් මාධ්‍ය ඇසුරුකරන බොහෝ අය කලඹන්නට හේතු වූවක් විය. ඒ එලොව ගොස් මෙලොව ආ යුවතියක් ගැනය. වෛද්‍යවරුන් විසින් එය හඳුන්වනු ලැබ ඇත්තේ “අසාමාන්‍ය තත්ත්වයක්” ලෙසටය. “ඔද්රේ ෂෝමන්” නම් වූ මෙම කාන්තාව සහ ඇයගේ සැමියා පසුගිය නොවැම්බර් මස දින ස්පාඤ්ඤයේ ‘පිරනීස්’ කඳු වැටියේ ඇවිද යමින් සිටියදී හිම කුණාටුවකට හසුවී තිබේ. ඇය එහිදී දරුණු ‘හයිපතර්මියා’ ශරීර නම් වූ උෂ්ණත්වය අස්වාභාවික ලෙස අඩුවීමේ තත්ත්වයකට මුහුණ පා ඇත. මෙතරම් දීර්ඝ කාලයක් හෘදය අක්‍රියව තිබීමක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤයෙන් මින් පෙර වාර්තා වී නැති නිසා වෛද්‍යවරු මෙම තත්ත්වය ගැන පුදුමයට පත්වූහ. මරණයේ අද්දරට ළඟාවෙමින් බරපතළ ජීවිත අත්දැකීමට මුහුණ දී මේ වන විට සම්පූර්ණ සුවය ලැබ යළි ජීවිතය ලද ඔද්රේ ෂෝමන්, ලබන වසන්ත කාලයේදී යළි කඳු මත ඇවිද යෑමට තමා බලාපොරොත්තු වන බව පවසන්නීය. බාසිලෝනා නගරවාසී තිස්හතර හැවිරිදි ඔද්රේ, පිරනීස්හි පැවැති දරුණු ශීත කාලගුණයට ගොදුරුව කතාකර ගැනීමට හෝ සිරුර චලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්වීමෙන් අනතුරුව සිහිසුන් තත්ත්වයකට පත්වී සිටියාය. හදිසි ප්‍රතිකාර කණ්ඩායමක් පැමිණෙන තෙක් බලා සිටින අතරතුර ඇයගේ තත්ත්වය තවත් නරක අතට හැරෙමින් තිබුණු අතර ඔද්රේ මියගොස් ඇතිය යන්න ඇයගේ ස්වාමිපුරුෂයා වුණු රොහාන් ෂෝමන්ගේ නිගමනය වී ඇත.

“මම ඇගේ නාඩි වැටෙනවද බලන්න උත්සාහ කළා. ඇය හුස්ම ගන්නවා කියලා දැනුණේ නැහැ. හෘද ස්පන්දනය දැනුණේ නැහැ” මම හිතුවා ඇය නැතිවෙලාය කියලා” ඒ ෂෝමන්ගේ හදගැස්මය. පසුගිය බ්‍රහස්පතින්දා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ‘කැටලන් චැනල් ටීවී 3’ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් රොහාන් කියා සිටියේය. බේරාගැනීමේ කණ්ඩායමක් පැය දෙකකට පසු එහි ළඟා වන විට ඔද්රේගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශයක 18 දක්වා පහළ වැටී තිබිණි. බාසිලෝනාහි රෝහලක් වෙත ගෙන එන විටත් ඇය පණ පිටින් සිටින බවට කිසිදු හෝඩුවාවක් තිබී නැත. ඔද්රේ රෝගී තත්ත්වයකට පත් කළ කඳුකරයේ පැවැතියා වූ අඩු උෂ්ණත්වය අනෙක් අතින් ඇයගේ ජීවිතය බේරා ගැනීමටද උපකාරී වූ බව ඇයගේ වෛද්‍ය ඔඩුවාඩ් අගුඩෝ පවසයි. “ඔද්රේ මියගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණත්, අපි දැන සිටියා ‘හයිපතර්මියා’ තත්ත්වයක් තුළ ඔද්රේට ජීවත් වීමට අවස්ථාවක් ඇති බව“ වෛද්‍ය අගුඩෝ විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ. ඔද්රේ මරණයේ අද්දරට පැමිණ සිටියත්, සිහිසුන්ව සිටි කාලය තුළ ඇය පත්ව සිටි ‘හයිපතර්මියා’ තත්ත්වය අනෙක් අතින් ශරීරය සහ මොළය නරක අතට හැරීමෙන් වළක්වා ඇය ආරක්ෂා කර ඇති බව වෛද්‍ය අගුඩෝගේ නිගමනය වෙයි.

වෛද්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පවසයි. “සාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් යටතේ ඔද්රේගේ හෘදය එතරම් කාලයක් අකර්මණ්‍ය වී තිබුණා නම්, ඇය මරණයට පත්වෙන්න ඉඩ තිබුණා” ඔද්රේගේ හදවත අක්‍රියව තිබියදී, කාලය සමඟ පොරබඳිමින් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරු ඇයගේ රුධිරය ඉවත් කර ඔක්සිජන් මුසු කරමින් යළි ශරීරයට ලබාදීමට කටයුතු කළහ. ඒ සඳහා ඔවුන් විසින් විශේෂ යන්ත්‍රයක් භාවිත කරනු ලැබ ඇත. ඔද්රේගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ට ළඟාවන විට ඇයගේ හදවත යළි පණ ගන්වනු ලැබුවේ ‘ඩිෆිබ්රිලේටරයක්’ ආධාරයෙනි. ඒ කඳු වැටියේ සිට හදිසි සේවා අමතා පැය හයකට පසුවය. දින ‍ෙදාළහක ප්‍රතිකාරවලින් අනතුරුව රෝහලෙන් පිටව යෑමට ඔද්රේට වෛද්‍ය අවසරය ලැබිණි. එහෙත් ‘හයිපතර්මියාව‘ නිසා ඇති වූ දෑත් චලනයේ අසීරුතාව සහ සංවේදී බවක් නොදැනීම කලක් ඇයට බලපානු ඇත. “ස්නායුවලට යම් කිසි හානියක් වෙයි කියලා අපට ලොකු බයක් තිබුණා” වෛද්‍ය අගුඩෝ පැවැසීය. “මොකද මෙතරම් කාලයක් හදවත නැවතිලා යළි පණ ගැන්වුණු වෙනත් අවස්ථා නැහැ” ,“යළි සුවය ලැබීමෙන් පසු ඔද්රේ කියා සිටියේ, සිහිසුන්ව සිටි පැය හය පිළිබඳ මතකයක් තමාට නොමැති බවය.

“දැඩි සත්කාර ඒකකයේදී මට ඇහැරෙනකොට පළමු දවසේ හෝ දෙකේ වෙමින් තිබුණේ මොනවද කියල මම දැනගෙන හිටියේ නැහැ. නමුත් එතැන් පටන් මම වැඩිදුර කියවන්න උත්සාහ කරනවා. නිසැකවම, හයිපෝතර්මියාව ගැන වැඩිදුර තොරතුරු දැනගන්න. මගේ ජීවිතය බේරුණු එක අදහගන්න බැරි බව හැඟෙනවා” ජීවත්වීමට තමා වාසනාවන්ත වූ බව පවසන ඔද්රේ රෝහල් කාර්ය මණ්ඩලයට ගෞරවය පුද කරන්නීය. “මේ සියල්ල වුණේ වෛද්‍යවරු නිසා. එහෙම නැති වුණා නම් මේක ආශ්චර්යයක්” මේ ශීත සෘතුවේදී යළි කඳුකරය වෙත නොයෑමට ඉඩ ඇති බවත් ඇය පවසන්නීය. නමුත් වසන්ත කාලයේදී අපිට නැවතත් කඳුකරයේ ඇවිදින්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු තියා ගන්නවා. මම මුහුණ දුන් කරදරය නිසා මගේ විනෝදාංශය නවතිනවා දකින්න කැමැති නැහැ”. මරණය අද්දරට ගිය තැනැත්තියකගේ මානසිකත්වය ගැන දැන ගත හැක්කේ ඇය පවසන දේ අනුවය. මේ තුළින් ඇය පත්ව සිටි තත්ත්වයත් ඊට සමීපතමයන් මුහුණ දුන් හැටිත් දත හැකිය. කෙසේ නමුත් ධෛර්යවත් අයකුට ජීවිතය ජය ගන්නට මේ සිදුවීම මහත් උත්තේජකයක් සපයන බව කිව හැකිය.