විෂමභාග චිත්‍රපටය නිසා ජැක්සන්ට ජාත්‍යන්තර ඇගයීම් රැසක්


1.මේ දවස්වල අපි ඔබව සිනමාවේ දකින්නේ ‘විෂම භාග’ චිත්‍රපටයෙන්. මේ සිනමා නිර්මාණය සමාජ සත්කාරක අරමුණ පෙරදැරි කරගත්තක් කියලා කියනවා. ඒ ගැන පැහැදිලි කළොත්? ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ සමාජ සත්කාරක චිත්‍රපටයක් ලෙස ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂම භාග දක්වන්න පුළුවන්. මෙය ශ්‍රද්ධා රූපවාහිනියේ ප්‍රථම සිනමා නිෂ්පාදනය. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ලැබෙන ලාභය වකුගඩු රෝගය පැතිර පවතින ප්‍රදේශවල ජල පිරිපහදු මධ්‍යස්ථාන තනවනු පිණිස ක්‍රියාත්මක වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියට පරිත්‍යාග කරනවා. මේ කටයුත්තේ මුල්තැන අරගෙන කටයුතු කරන්නේ අලුදෙණියේ සුබෝධි හිමියන්.ඇත්තෙන්ම මෙම සිනමා නිර්මාණයේ අරමුණ සමාජ සත්කාරයක් කිරීම වුවත්, මෙය කෘමිනාශක භාවිතය ගැන, වකුගඩු රෝගය ගැන හුදු වාර්තා චිත්‍රපටයක් නෙවෙයි. එහෙම වුණා නම් මේ සිනමා නිර්මාණයෙන් සිනමාවට ආලෝකයක් ලැබෙන්නේ නෑ. සිනමා නිර්මාණයේ නිෂ්පාදනය තුළ කිසිම ආකාරයක ලාභ අපේක්ෂාවක් නෑ. නමුත් අරමුණ සාර්ථක කර ගැනීමට ලලිත් රත්නායකයන්ව තෝරාගත්තා. අලුදෙණියේ සුබෝධි හිමියන්ගේ ඒ තෝරා ගැනීම අතිවිශිෂ්ටයි. කිසිම ආකාරයක ලාභ අපේක්ෂාවකින් තොරව නිර්මාණය වූ මේ සිනමා නිර්මාණයට ජීවයක් එක් කරමින් උසස් සිනමා කෘතියක් නිර්මාණය කිරීමට ලලිත් රත්නායක සමත් වුණා.

2.ඔබ සිනමා නිර්මාණවලට ආවට ගියාට සම්බන්ධ වෙන්නේ නෑනේ. විෂම භාග ඔබේ තෝරා ගැනීම වුණේ කොහොමද?vමගේ රංගන ජීවිතය තුළ මම රංගනයෙන් දායක වුණු නිර්මාණවලට වඩා මම ප්‍රතික්ෂේප කරපු නිර්මාණ වැඩියි. මම සිනමා නිර්මාණයක් තෝරා ගන්නේ පස්මහ බැලුම් බලලා. මේ වෙද්දි මම රඟපාලා තියෙන්නේ සිනමා නිර්මාණ 25ක වගේ සුළු ප්‍රමාණයක. ලලිත් රත්නායකයන්ගේ ටෙලි නාට්‍ය මම නරඹලා තියෙනවා. ඒ ටෙලි නාට්‍යවලත් මම දකිනවා යම් සිනමාත්මක ගුණයක්. ඇත්තෙන්ම ලලිත් රත්නායකයන් සිනමා නිර්මාණයක් කිරීමම සිනමාවට සුබවාදී පෙර නිමිත්තක්. ඔහුගේ නිර්මාණයට දායක වෙන්න ලැබීමත් මට සතුටක්. ඔහු පිටපත ගෙනැවිත් මට භාර දෙනවා. ඒ පිටපත කියවලා මම තීරණය කරනවා වැඩේ භාර ගන්න. එයට හේතුව ඒ පිටපත ප්‍රවීණත්වයකින් රචනා කරලා තිබීමත්, ඒ පිටපත තුළ සිනමා නිර්මාණය පිළිබඳ හොඳ අදහසක් දීලා තිබීමත් කියන කාරණා.

3.සිනමා අධ්‍යක්ෂණ භූමිකාව තුළ ලලිත් රත්නායකයන්ව ඔබ දකින්නෙ කොයි ආකාරයෙන්ද? ඇත්තෙන්ම සිනමා නිර්මාණය තුළ මම බොහෝම ප්‍රිය කරන අධ්‍යක්ෂණ භූමිකාවක ලලිත් රත්නායකයන් නිරතවෙමින් සිටියා. ඔහු සියල්ල පෙර දකින අධ්‍යක්ෂවරයෙක්. ලෝකයේ විවිධාකාරයේ අධ්‍යක්ෂවරු හිටියත් ඒ අතර ලලිත් රත්නායකයන් චිත්‍රපටය රූපගත කිරීමට පෙර සමස්තය දැකලයි තිබුණේ. ඔහු දැක තිබූ චිත්‍රපටය යළි අධ්‍යක්ෂණය කරන්නයි තිබුණේ. ඒ ක්‍රමයම තමයි මමත් මගේ සිනමා නිර්මාණයන්ට යොදා ගන්නේ. මුලින් දුටු, පූර්ව රූපයට සෙසු ශිල්පීන් කැඳවා ගැනීමයි මමත් කරන්නේ. ඒ වගේම ලලිත් රත්නායකයන්ට හොඳ භාෂාවක් වගේම හොඳ අධ්‍යක්ෂණ හඬක් තියෙනවා. ඒ හඬ, සිනමා නිර්මාණය තුළ නිර්මාණාත්මක කාර්යය කරගෙන යෑමටත්, රංගන ශිල්පීන් හා සහසම්බන්ධය පවත්වාගෙන යෑමටත් හොඳ පිටිබලයක් වුණා. ඒ වගේම ලලිත් රත්නායක කියන්නේ ඉතා ළෙන්ගතු, හෘදයාංගම, බොහොම සතුටින් වැඩ කරන්න පුළුවන් තෘප්තිමත් මනුස්සයෙක්. ඉතින් ඒ අධ්‍යක්ෂවරයා හරහා ලැබුණු සතුට සිනමා නිර්මාණය පුරාම අපිට ලැබුණා.

4.විෂම භාග සිනමා නිර්මාණය තුළ ගුරු භූමිකාවක් ජීවත් කරන්නයි ඔබට සිදු වුණේ? මෙම නිර්මාණයේදී ලලිත් රත්නායකයන් දුටු පූර්ව රූපයේ සිටි ගුරුවරයාව සොයා යෑම තමයි මට සිදුවුණේ. ඔය ගුරුවරයා ගැන මගේ හිතෙත් රූපයක් තිබුණා. නමුත් මගේ කාර්යභාරය වුණේ ලලිත් රත්නායක දුටු ගුරුවරයා මා තුළින් නිරූපණය කිරීමයි. මම මට හැකි සෑම උත්සාහයක්ම දැරුවේ අධ්‍යක්ෂවරයා දැක තිබූ ගුරුවරයාගේ රූපය යථාර්ථයක් කර දීමටයි. ඒ සඳහා අපි සුහද සාකච්ඡා වට ගණනාවක් පවත්වමින් ගුරුවරයාගේ විලාසය, පවත්වාගත යුතු ගුණ, චරිතයට අවතීර්ණ වීම ආදියට සූදානම් වුණා. 5. ඔබව ජාත්‍යන්තර ඇගයීම්වලට ඔසවා තබන්නේ මේ චිත්‍රපටය? ඔව්, ජාත්‍යන්තර සම්මාන තුනක් මට හිමිවෙනවා විෂම භාග සිනමා නිර්මාණය වෙනුවෙන්. ඒ මැලේසියාවේ, ඉන්දියාවේ, පිලිපීනයේ පැවැති සම්මාන උළෙල නියෝජනය කරමින්. ඒ අවස්ථා තුනේදීම මට හිමි වෙන්නේ හොඳම සහාය නළුවා සම්මානය. දේශීය වශයෙන් සම්මාන 60කට පමණ හිමිකම් කියන මට ජාත්‍යන්තර සම්මාන ලැබුණු පළමු අවස්ථාව තමයි මේ.

6.අපේ රටේ සිනමාවට ජාත්‍යන්තර සම්මානවල අඩුවක් තියෙනවාද? ඔව්. නමුත් ඒ අපේ සිනමා නිර්මාණවල වැරැද්දක් නෙවෙයි. අපේ නිර්මාණ හරියාකාරව ජාත්‍යන්තර තලයේ සිනමා උළෙලවල් නියෝජනය නොකිරීමයි මෙහි තියෙන ප්‍රශ්නය. මේ විෂම භාග සිනමා නිර්මාණය ලැබූ සෑම ජාත්‍යන්තර සම්මානයක්ම ලැබුණේ අලුදෙණියේ සුබෝධි හිමියන්ගේ තම පෞද්ගලික උත්සාහයේ පල ප්‍රයෝජන ලෙස. මේ සෑම විදේශ සිනමා උළෙලක්ම නියෝජනය කළේ උන්වහන්සේගේ ස්වකීය උත්සාහයෙන්. උදාහරණයක් ගත්තොත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශ තරගාවලි නියෝජනය කරන්නේ ඔවුන් තරග ඉසව් සොයාගෙන, ඔවුන්ම සොයාගෙන යමින් නෙවෙයිනේ. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්වෙලා ඊට අදාළව විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. ලංකාවේ සිනමා නිර්මාණ පිළිබඳ නිසි පරිපාලනයක් නෑ. ලංකාවේ චිත්‍රපට සංස්ථාවෙන් යම් මැදිහත්වීමක් කරමින් විදේශ සිනමා උළෙල නියෝජනයට අවශ්‍ය මංපෙත් විවර කර දෙනවා නම් අපේ රටේ සිනමාවත් ජාත්‍යන්තර තලයේ හොඳ ඇගයීම්වලට ලක්වීමට අවස්ථාව තිබුණා. ඒ වගේ ඒ සිනමා උළෙල නියෝජනය කිරීම හුදු සම්මාන අපේක්ෂාවට එහා ගිය හොඳ අවස්ථා හිමි වන්නටත් බැරි නෑ.

7.කුඩා ළමයින් දෙදෙනෙක් එක්ක කළ සිනමාත්මක ගනුදෙනුව කොයි වගේද? මේ නිර්මාණයේදී මට හමු වුණේ ඉතාමත්ම අහිංසක, ඉතා දක්ෂ සමරූපී නිවුන් දරුවන් දෙදෙනෙක්. සමරූපී නිවුන් දරුවන් 50ක් 60ක් අතරින් තමයි මේ දරු දෙදෙනා තෝරා ගෙන තියෙන්නේ. මම කුඩා දරුවන්ට බොහෝ සේ ඇලුම් කරනවා. දරුවන් අතරෙදි මම සැමවිටම ඔවුන්ගේ ආදරය හා ඔවුන්ගේ සතුට හොයා යන කෙනෙක්. ඉතින් ඒ නිසාම දරුවොත් මට හරිම ආදරෙයි. මගේ හිතේ දරුවන්ට තියෙන සුවිශේෂී ආදරය, හදවතින්ම නැඟෙන ළෙන්ගතුකම දන්න නිසාම ලලිත් රත්නායකයන් රූපගත කිරීම්වලට කලින්ම මට පොඩි තහංචියක් දැම්මා. ඒ තමයි චිත්‍රපටය ඉවර වෙනකම් මේ දරුවොත් එක්ක ඕනවට වැඩිය හිතවත් වෙන්න එපා කියලා. එකිනෙකා අතර ආදරය, සෙනෙහස ඇති වුණොත් සිනමා නිර්මාණය ඇතුළේ ගුරුවරයා හා දරුවන් අතර තිබිය යුතු බිය, සැක, ගරු කිරීම වගේ දේවල් නැති වෙලා යයි කියලා ලලිත් බය වුණා. මම ඒ තහංචිය ඒ විධියට රැක්කා. ඒක අමාරු වුණත් මම ඒ නීතියට ගරු කළා. ඒ නිසා ඒ දරුවෝ හිතන්න ගත්තා මම වැඩි කතාබහක් නැති කෙනෙක් කියලා. රූපගත කීරීම්වලින් පස්සේ මම ඔවුන් හා සාමාන්‍ය පරිදි සතුටින් කටයුතු කළා. මම නිර්මාණය කළ අබා චිත්‍රපටය, මම රංගනයෙන් එක්වුණු සූරිය අරණ මේ කියන චිත්‍රපට දෙකටම වඩා විෂමභාග කතා තේමාව වෙනස්. ඒ කතා තුළ දරුවන්ගේ සිනහව, සතුට, නිදහස නිරූපණය කළත්, මේ කතාව දරුවන්ගේ සිත තුළ ක්‍රියාත්මක වෙන මානසික අරගලයක් නිරූපණය කිරීමට තිබුණා. එබඳු සංකීර්ණ මනෝභාවයක් නිරූපණයට ලලිත් රත්නායකයන් අපිව ඇතුළාන්තයෙන්ම මෙහෙයවපු ආකාරය අතිවිශිෂ්ටයි.

8.ඔබේ අලුත්ම සිනමා නිර්මාණයේ වැඩ අවසන් නේද? ඒ ගැන මතක් කළොත්? මගේ අලුත්ම සිනමා නිර්මාණය එකගෙයි සොකරි. සුනාමි චිත්‍රපටයත් සමඟම පූර්ව ප්‍රචාරක කටයුතු ජනවාරි මස සිදුකිරීමට නියමිතයි. ජනවාරි අට වැනිදා පූර්ව ප්‍රචාරක පටයයි, ගීතයි රසිකයන් අතට පත් කිරීමට සූදානමින් ඉන්නවා. 9. එකගෙයි සොකරි සිනමා නිර්මාණයේ කතා තේමාව කොයි වගේද? මේ නිර්මාණය හා බැඳෙන්නේ වර්ෂ 1930 පමණ කතා පුවතක්. මිනිසුන් ගමේ සුන්දරත්වයෙන් අෑත් වෙමින් නගරයට රොක් වෙන යුගයක යළි ගම, ගමේ සුන්දරත්වය මේ නිර්මාණයෙන් මතක් කර දෙනවා. මේ සිනමා නිර්මාණය රෑගත වෙන්නේ උෟව වෙල්ලස්ස පැත්තේ. ඒ පළාතේ දශක 2ක 3කින් සිනමා නිර්මාණයක් කරලා නෑ. කෙතරම් දුෂ්කරතා තිබුණත් දුක, කඳුළ, දරිද්‍රතාව මැදින් ඉතා සුන්දර ජීවිතයක් මේ ගැමියන් ගත කරනවා. කොහොමත් ලබන වසරේ එකගෙයි සොකරි සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයන් අතට පත් වෙනවා.

10.සිනමා නිර්මාණයට අමතරව ඉදිරියේ කෙරෙන අලුත් වැඩ මොනවාද? ඉදිරි කාලයේ ටිකක් බරපතළ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයක් ගැන හිතමින් ඉන්නවා. ඒ වගේම ලබන වසරේ මගේ නවකතා පොතක් එළිදක්වන්න අදහස් කරලා තියෙනවා.


Like it? Share with your friends!

0

විෂමභාග චිත්‍රපටය නිසා ජැක්සන්ට ජාත්‍යන්තර ඇගයීම් රැසක්

log in

reset password

Back to
log in