Online Sinhala

Online Sinhala Magazine

සුනාමියට කොටුවී ශීතකරණයක් නිසා දිවි බේරුණු දියණිය

මිනිස් ජීවිත දහස් ගණනක පණ නළ මහ මුහුදට මුසුවූ සුනාමි ඛේදවාචකය සිදුවී වසර 15 ක් සපිරෙන්නේ හරියටම මෙම මාසයේ 26 වැනිදාය. සුදෝ සුදුවන් පෙණ පිඩු නංවමින් වෙනදාට ආදරෙන් වෙරළ සිප ගන්නා මුහුදු රළ 2004 දී මෙවන් දිනක උදය වරුවේ මහා ජල කඳක් ලෙස ගොඩබිම කරා ඇදී ආවේ සුවිසල් ගොඩනැගිලි පවා බිමට සමතලා කරමිනි. එදා ගැලූ ජල කඳට අසුවී ගසාගෙන ගොස් මුහුදට ඔවුන් බිලිවූයේ නෑසිය කැලට සදාකාලික කඳුළක් උරුමකර දෙමිනි. ඉන් සමහරු අද ද සිටින්නේ අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවේය. සුනාමි ව්‍යවසනය සිදුවී පහළොස් වසරක් ගත වී ඇතත් ජීවිත අහිමි වූවන්ගේ ඥාති මිත්‍රාදීන් අදටත් ඒ මූසල දවස සිහිපත් කරමින් සුසුම් හෙළති. සුනාමි රළ පහරට අසුවී ගසාගෙන යද්දී සීතල මරණයේ දොරටුව අබියසටම ගොස් ජීවිතය බේරා ගත් එදා බාලවයස්කාර දැරියකව සිටි වර්තමානයේ දෙදරු මවක වන කාන්තාවක් අපට හමු විය. ඇය කිලෝ මීටර් 6-7ක් පමණ මුහුදු රළ සාගරේ ගසා ගෙන යද්දී ජීවිතය බේරී ඇත්තේ ගසා ගෙන ගිය ශීතකරණයක් තුළ සිරවීම නිසාය. අැයට සෙනෙහෙබර සොහොයුරියක් ද තවත් ඥාතීන් සිව් දෙනකුද අහිමි වූයේ සුනාමි රළ පහරට බිලි වීමෙනි. ඇය අශානි කෞශල්‍යා මහත්මිය වන්නීය.

කටුනායක ආඬිඅම්බලමේ එවකට පදිංචිව සිටි අශානි මහත්මිය මේ වන විට වෙසෙන්නේ මහ වැව වී හේන ප්‍රදේශයේය. ඒ බිහිසුණු හෝරාව ආවර්ජනය කරමින් ඇය මෙසේ පැවසුවාය. එතකොට මගේ වයස අවුරුදු නවයයි. මම අපේ අම්මා අක්කා ඇතුළු පවුලේ සමීපතම ඥාතීන් 25ක් විතර කතරගම වන්දනාවේ යන්න කටුනායක ආඬිඅම්බලමේ ඉඳලා පිටත් වුණා. මුලින්ම කැලණි විහාරය වැඳ පුදා ගෙන කළුතර බෝධිය වඳින්න ගියා. කන්දේ විහාරය වැඳ පුදා ගත්තා. ඊට පසසේ සීනිගම දේවාලයට ගියා. වන්දනා ගමන ගියේ වෑන් රථයකින්. සීනිගම මැද දේවාලයට යාමට ගියත් ඒ දේවාලයට යන්න බෝට්ටු තිබුණේ නැහැ. අපි කට්ටිය මුහුදු රළ පාගමින් වෙරළේ විනෝද වෙමින් සිටියා. මගේ අක්කා හේෂා මධුරංගි. එයාගේ වයස ඒ වෙන කොට අවුරුදු 20ක් විතර වුණා. මුහුදු වෙරළේ රැලි පාගමින් ඉන්නා අවස්ථාවේ ටිකක් සැරට රළ පහරවල් කිහිපයක් ඇවිත් අපේ ඇඟවල් වල වැදුණා.

අක්කා කිව්වා මුහුදු වැලි වැදිලා ඇඟ කසන නිසා අපි දැන් ඈතට යමු කියා. ඊට පස්සේ අපි කට්ටියම මුහුදු වෙරළෙ ඉඳලා වෑන් එක නතර කරලා තිබුණ තැනට යන්න පිටත් වුණා. එහෙම යන අතරවාරයේ අක්කා මධුරංගි කිව්වා අම්මේ අපේ සෙරෙප්පු ගල උඩ ඒවා අරගෙන එන්න කියා. ඉතින් අම්මා සෙරෙප්පු ගේන්න මුහුදු ළඟ තිබුණ ගල ළඟට ගියා. අපි නැවතිලා අම්මා යන දිහා බලාගෙන හිටියා. එතකොට මුහුදේ තරමක් ඈතින් ලොකු රළ පහරක් අහසට නගිනවා අපි දැක්කා. ඒක අසාමාන්‍ය රළ පහරක් බව අපිට තේරුම් ගියා. ඒ ලොකු රළ පහරක් නිසා අක්කා කිව්වා මේක ගොඩබිමට ඇදී ඇවිත් අපි සේරම නෑවෙන්න පුළුවනි කියා. එහෙම වුණොත් අපේ ඇඳුම් සේරම මුහුදු වතුරට තෙතබරිත වෙන්න පුළුවන් කියාත් අක්කා පැවසුවා මට මතකයි. අක්කා ඇඳගෙන හිටියේ දිග ගවුමක්. මේ රළ පහරට අහුවෙලා අපේ ඇඳුම් තෙමෙයි කියා බයට මුහුදු වෙරළ අයිනේ තිබුණ තට්ටු දෙකේ ගොඩනැගිල්ලකට නගින්න ගියා. ඒ ගොඩනැගිල්ලේ පිටතින් පඩිපෙළ පිහිටා තිබුණා.

පඩිපෙළවල් තුනක් විතර නැග්ගා. එතකොට මට අම්මා මතක් වුණා. අක්කේ අම්මා අපිව හොයයි. ඒ හින්දා මම පහළට ගිහින් අම්මාව එක්කරගෙන එන්නම් කියා මම ආයෙත් නැගපු පඩි තුන බැස්සා. ඒත් මට අම්මා ළඟට යන්න ලැබුණේ නැහැ. එක පාරටම විශාල රළ පහරක් ඇවිත් මගේ ඇඟේ මහ හයියෙන් වැදුණා. ඒ රළ පහර වදිනවා විතරයි මට මතක. ඊට පස්සේ වෙච්ච දේවල් මට මතක නැහැ. පියවි සිහිය එනකොට මම හිටියේ ෆ්‍රිජ් (ශීතකරණයක්) එකක් ඇතුළේ හිරවෙලා. ඒ ෆ්‍රිජ් එක ගෙදරක තිබිලා මුහුදු රළ පහරේ ගසාගෙන ඇවිත් ලොකු ගහක හිර වෙලා තිබුණේ. මම හිටිය තැනින් වයසක අංකල් කෙනෙක් බොහොම අමාරුවෙන් යන්න ගියා. ඒ අන්කල් මුහුදු රළ පහරට අසුවූ කෙනෙක්. ’’අනේ අංකල් මාවත් බේරා ගන්න’’ කියා ඔහුට හඬමින් කිව්වා. ඔහු මාව ඔසවා ගත්තා. ඒ වෙනකොටත් කර වටක් විතර මුහුදු වතුර තිබුණා. මුහුදු වතුර හැම තැනම රැඳිලා තිබුණා.

ටික දුරක් යනකොට අම්මත් බොහොම අමාරුවෙන් කරවටක් විතර තිබුණ වතුරේ ඇවිද ගෙන එනවා අපිට හමු වුණා. මේ මගේ පොඩි දුව කියා මාව ඔසවාගෙන අංකල්ට කිව්වා. පස්සේ අම්මා මාව වඩා ගත්තා යැයි අශානි මහත්මිය් හැඬුම් ස්වරයෙන් කීවාය. ඊට පසුව සිදුවූ දේවල් ද ඇය එකිනෙක මතකයට නංවමින් වචන වලට පෙරළුවේ මෙසේය. ‘‘අම්මා මාවත් වඩාගෙන බොහොම අමාරුවෙන් එද්දී ඒ ගමේ කට්ටියක් දැකලා අපි දෙන්නාම කන්දක් උඩ තියෙන පන්සලකට එක්කගෙන ආවා. ඒ ගමේ නම හෝ පන්සලේ නම කියන්න අදටත් දන්නේ නැහැ. මුහුදු රළ පහරට අසුවී ගසාගෙන යද්දී ජීවිතය බේරා ගත්ත ​ගොඩක් අය ඒ පන්සලේ හිටියා. අපිත් එක්ක වන්දනාවේ ආ අය අතරින් වැඩි දෙනෙක් ද ඒ පන්සලේ සිටියදී හමු වුණා. රළ පහරට අසුවී මිය ගිය අයගේ සිරුරු ද පන්සල් භූමියේ පැත්තකට දමා තිබුණා මතකයි.’’ ‘‘නමුත් මගේ අක්කා මධුරංගිගේත් මගේ ඥාති අයියා කෙනෙක් වන ලසන්ත කැළුම්​ (15) ගේත් ඥාති අක්කලා දෙන්නෙක් වූ උදාරා (18) සහ ඉෂාරා මධුවන්ති (9) යන දෙදෙනාගේත් සිරුරු තිබුණේ නැහැ.’’ ‘‘අපි හිටිය පන්සලේ හැම තැනම මේ හතර දෙනා ඉන්නවාද කියා සොයා බැලුවා. නමුත් ඒ හතර දෙනා හිටියේ නැහැ. ඊට පස්සේ අපි තවත් පන්සලකට ආවා. තාත්තා ඇතුළු ගමේ කට්ටියක් ඇවිත් අපිව ගෙදර එක්කගෙන ආවා. මේ හතර දෙනාගේ සිරුරු අදටත් හමු වුණේ නැහැ. කිලෝ මීටර් 7ක් විතර දුරක් මාව ගහගෙන ගිහින් තිබුණ බව පසුව දැන ගැනීමට ලැබුණා.’’

අශානි කෞශල්‍යා, උදාරා ඉන්දීවරි, ඉෂාරා මධුවන්ති හා ලසන්ත කැලුම් යන හතර දෙනාම ඉගෙනුම ලබමින් සිට ඇත්තේ ආඬිඅම්බලම මධ්‍ය මහා විද්‍යාලයේය. ‘‘මගේ අක්කා ඇතුළු හතර දෙනා මිය ගියා කියා අපි තවම දානයක් වත් දීලා නැහැ. මේ හතර දෙනා කොහේ හරි තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා තමා අපි හිතාගෙන ඉන්නේ.’’කොයි මොහොතක හෝ අපව හොයා ගෙන කොහේ හරි ඉඳලා එයි කියන තද බල විශ්වාසයකින් තමා අපි තවමත් පසුවන්නේ. ඇය බිදුණු හඬින් පැවසුවාය. මීළඟට අප හා කතාවට එක් වූයේ අශානි මහත්මියගේ මව වන මල්ලිකා පෙරේරා (54) මහත්මියයි. සුනාමි රළ පහරට අසුවී අතුරුදන්ව සිටින මධුරංගි දියණිය වෙනුවෙන් අදටත් කඳුළු සලන මල්ලිකා මහත්මිය හදවත පාරවන ඒ සිද්ධිය ආවර්ජනය කළේ කඳුළු අතරිනි. මම සීනිගම දේවාලය ළඟ තිබුණු ගල උඩ තිබුණු සෙරෙප්පු ටික ගන්න එතැනට ගියා. සෙරෙප්පු ටික ගන්න පහත් වෙනවත් එක්කම ලොකු රළ පහරක් ආවා. ඒ රළ පහරට මාව ගසාගෙන යන්න පටන් ගත්තා. මට මේ මොකද වුණේ කියා හිතා ගන්නවත් බැරිව ගියා. පළමු වැනි රළ පහරට ගසාගෙන යන අතරවාරයේ ගේට්ටුවක් අල්ලා ගත්තා. තවත් රළ පහරක් ගැසීම නිසා ගේට්ටු අත හැරී අායෙත් මාව ගසාගෙන යන්න පටන් ගත්තා. එහෙම ගහගෙන ගිහින් ගම්මානයක ගෙයක් ළඟ මාව නතර වුණා.

ඒ ගේ ළඟ ගහක් තිබුණා. ඒ ගහ මම තදින්ම අල්ලා ගත්තා. එතැන ඉඳලා ටික දුරක් එද්දී තමා පොඩි දුව අශානි මට හමු වුණේ. කිලෝ මීටර් 7ක් විතර දුරක් මාව මුහුදු වතුරේ ගසාගෙන ගිහින් බව පසුව දැන ගත්තා. වතුරේ ගිලෙමින් උඩට මතු වෙමින් තමයි මාව ගසාගෙන ගියේ. මගේ දුව තවමත් කොහේ හරි ජීවතුන් අතර ඇතැයි කියන විශ්වාසය මටත් තියෙනවා. ඒ සුනාමිය අාවාට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ දුව ඇතුළු අපේ කට්ටිය හොයා ගෙන නොගිය තැනක් නැහැ. මල්ලිකා මහත්මිය කීවාය. සීනිගම අඩවිය බාරව සිටිනවා යැයි කියන දෙවියන්ටවත් මේ අසරණ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වූයේ සුනාමිය ඒ දෙවියන්ටත් වඩා බලවත් වූ නිසාද?