සතුටෙන් ඉන්න කැමති අය බලන්නම වෙනවා


ඔබ සතුටින් ඉන්න කැමති ද?” කියා කෙනෙකුගෙන් ඇසුවහොත් ඔහුගේ හෝ ඇයගේ ඒකාන්ත පිළිතුර “සතුටින් ඉන්න තියෙනවා නම් මොනතරම් දෙයක් ද” කියා ය. එය සැබෑවකි. අප මේ ගතකරන මනුස්ස ජීවිතය තියෙන්නේ ඉතාම පුංචි කාලයකට පමණි. ඒ සුළු කාලය සතුටින් ජීවත් වීම තමයි සියලු‍ දෙනාගේ ම පාහේ අපේක්ෂාව. 2019 ලෝක සතුටු දර්ශක වාර්තාවට අනුව ලෝකයේ ප්‍රීතිමත් ම මිනිසුන් වෙසෙන රට ෆින්ලන්තය යි. ඒ සඳහා ඔවුන් විසින්,

  1. රටේ දළ දේශීය නිෂ්පාදනය
  2. සමාජ සහයෝගීතාව
  3. ආයු අපේක්ෂාව
  4. ජීවිතයේ තෝරා ගැනීම් සඳහා ජනතාවට ඇති නිදහස
  5. ත්‍යාගශීලීභාවය
  6. වංවා හා දූෂණ මට්ටම

යන නිර්ණායකයන් උපයෝගී කරගත්හ. මෙය කියවූ සැණින් බොහෝ අයට සිතේවි “අපට නම් ඉතින් සතුටින් ඉන්න ලැබෙන්නේ නෑ” කියා. හේතුව මේ නිර්ණායකයන් අතරින් ප්‍රධාන ම නිර්ණායකයන් සඳහා අප රට ළඟා නොවී තිබීම. එය එසේ වුවත් අපටත් ඉතාම සතුටින් සිටීමට හැකි තවත් බොහෝ ක්‍රම තිබේ. ඉහත නිර්ණායක සියල්ල ම පාහේ තෝරාගනු ලැබුවේ සාමාන්‍ය මිනිසුන් පිරිසක් විසිනි. ඔවුන්ට මේ ලෝකය ගැන, මිනිස්සු ගැන, සිත ගැන, අවබෝධයක් නොමැත. මොහොතකට සිතා බලන්න… ඔය සියලු‍ නිර්ණායක සම්පූර්ණ වුවත් සිතේ තෘප්තිමත් බවක් නැතිනම් සතුටු සිතින් ඉන්නට පුළුවන් ද? නොහැක්කේම ය. එසේ නම් මෙකී සියල්ල ම පසෙකලා ඔබට සතුටින් සිටීමට පහසු ම ක්‍රමයක් කියා දෙන්නම්. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයට අනුව ඕනෑම කෙනෙකුට ඉතාම සතුටින් සිටීමට හැකි ක්‍රමය නම් ‘ලද දෙයින් සතුටු වීම’ යි. බැලූ බැල්මට කාටත් හිතේවි “මේකද මේ සතුටින් ඉන්න පුළුවන් ක්‍රමය?” කියලා. නමුත් යම් කෙනෙක් මේ ක්‍රමය පුරුදු කළොත් ඔහුට ඒකාන්තයෙන් ම ඉතා සතුටින් ජීවත් වන්නට පුළුවන් බව සනාතන ධර්මයකි.

ඇත්තෙන්ම මේ ලෝකේ සතුටින් හිටපු පිරිස වුණේ නිකෙලෙස් රහතන් වහන්සේලා. එසේ නැතුව ෆින්ලන්තයේ මිනිස්සු නොවේ. ලද දෙයින් සතුටු වන්නට බැරි නම් කාටද පුළුවන් සතුටින් ජීවත් වෙන්න? කිසිවෙකුට එය කළ නොහැකිය. එයට හේතුව බොහෝ අතෘප්තිමත් ආශාවන්ගෙන් සිත පිරී තිබීමයි. එවිට කුමන සතුටක් ද? මිනිසුන් සෑම මොහොතක ම උත්සාහවත් වන්නේ තමා සතු දෙයින් සතුටු වීමට නොවේ. නැති දේවල් ගැන, නොලැබුණු දේ ගැන සිතමින් සුසුම් ලමින් ජීවත් වන්නට ය. එහෙමත් නැත්නම් අනුන් සතු දේ ගැන ආශාව, ඊර්ෂ්‍යාව උපදවා ගැනීමට ය. ඒ තුළින් කිසිම දිනක කිසිම කෙනෙක් අඩුම වශයෙන් තිරිසන් සත්වයෙක්වත් සතුටින් ජීවත් වී නැත. භාග්‍යවතුන් වහන්සේ වදාළේ “‍න කහාපණ වස්සේන තිත්ති කාමේසු විජ්ජති – රන් කහවණු වැස්සක් වැස්සත් තනි පුද්ගලයෙක් මේ පංච කාමයන් ගැන තෘප්තියට පත්වන්නේ නැහැ”‍ කියලයි. සැබෑවටම එය මොනතරම් සත්‍යයක් ද? ලෝකයේ මේ තරම් ප්‍රශ්න හටගෙන තිබෙන්නේ ලද දෙයින් සතුටට පත් නොවීම නිසා ම ය. පුද්ගලයින් පුද්ගලයින් අතර ගැටුම්, පිරිස් පිරිස් අතර ගැටුම්, රට රටවල් අතර ගැටුම් ආදී මේ සෑම දේකට ම මූලික හේතුව, ලැබුණු දෙයින් තෘප්තිමත් නොවීම ය. රට්ඨපාල මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.

මං දැකලා තියෙනවා ලෝකයේ ඉන්න ධනවත් ම මිනිසුන්. ඔවුන්ට ධනය ලැබුණාම එයට රැවටෙනවා කාටවත් දෙන්නෙ නැහැ. ලෝභකමින් ධනය එකතු කරලා තව තවත් ධනය ප්‍රාර්ථනා කරනවා.” “රජ කෙනෙක් සාගරය පවුර කරගෙන මුළු ලෝකය ම ජය ගත්තත් එයාට තෘප්තියක් නැහැ. එයා කැමතියි සාගරයෙන් එතර තියෙන රටකත් රජ කරන්න.” ඒ රජුත් අනෙක් බොහෝ මිනිස්සුත් තණ්හාව සමඟ ම යි මරණයට පත්වන්නේ. ජීවිත අතහරින්නේ සෑහීමකට පත් වෙලා නොවේ. මේ කාම ලෝකයේ තෘප්තියට පත් වීමක් නම් නෑ ම යි.” අපි ඔයිට වඩා වෙනස් අය ද? නැහැ නේද? ඒ උත්තමයන්ගේ අවබෝධය සැබෑවක් ම නොවේද? ලද දෙයින් සතුටු නොවන බිරිඳක් සිටින නිවසේ සෑම දිනක ම රණ්ඩු සරුවල් ය. ලද දෙයින් සතුටු නොවන දරුවන් ඇති නිවසේ සෑමදාම පාහේ ප්‍රශ්න ගැටලු ය. මින් අදහස් කරන්නේ යුතුකම් හා වගකීම් ඉටු නොකිරීම නොවේ. ස්වාමියාට හැකි අයුරින් තම බිරිඳගේ අවශ්‍යතා සම්පූර්ණ කරනවා නම් ඇය ඉන් සතුටු විය යුතුයි. දෙමාපියන්ට හැකි අයුරින් තම දරුවන්ගේ කටයුතු කරනවා නම් ඔවුන් ඉන් සතුටු විය යුතුයි. බිරිඳට හැකි අයුරින් තම ස්වාමියාගේ, දරුවන්ගේ කටයුතු ඉටු කරනවා නම් ඔවුන් ඉන් සතුටුව සෑහීමකට පත් විය යුතුය. එසේ නොමැතිව දකින දකින දේ ඉල්ලන බිරින්දෑවරු ස්වාමියන්ට මහා කරදරයකි. දකින දකින දේ ඉල්ලන දරුවන් දෙමාපියන්ට මහත් පීඩාවකි.

බොරු කීම, කේලාම් කීම, සොරකම, වැරදි කාම සේවනය ආදියට ප්‍රධාන හේතුවක් වන්නේ ලද දෙයින් සතුටු නොවීම ය. තමන්ට හැකි අයුරින් නිවසක් තනාගත් විට වාහනයක් ගත් විට අනෙක් අයගේ උසස් නිවාස, වාහන දැක ඒ හා සමාන වීමට සිතීමෙන් කිසිදා තමා සතු දෙයින් සතුටක් ලබා ගත නොහැක. තිස් දහසක වැටුපක් ලබා ගන්නා කෙනෙක් ලක්ෂයක වැටුපක් ලබන කෙනෙකු සේ කටයුතු කරන්නට යාමෙන් සිදු වන්නේ දුකසේ ජීවිතය ගත කරන්නට ය. හැකියාව තිබෙන කල්හී ඒ ඒ දේ සුදුසු අයුරින් කළ යුතුය. උත්සාහයෙන් දියුණු වීම සහ ලද දෙයින් සතුටු වීම යනු කරුණු දෙකකි. එය හරියට තේරුම් නොගෙන දියුණුවක් ලැබීමට කටයුතු නොකරන්නා ද අඥානයෙකි. එයට අමතරව අපි පින ගැන ද තේරුම් ගත යුත්තෙමු. එකිනෙකාට ලැබෙන නොලැබෙන දේවල් පින මත ද තීරණය වේ. එය ද සිහියේ තබා ගත යුතුය. අපගේ ශාස්තෘන් වහන්සේ භික්ෂූන්ට පවා වදාළේ ලැබෙන පිණ්ඩපාතයෙන්, සිවුරු පිරිකරින්, කුටි සෙනසුන්වලින්, බෙහෙත් ගිලන්පසින් සතුටු විය යුතු බවයි. සෑහීමකට පත්විය යුතු බවයි. එසේ නොමැතිව නොයෙක් දේවල්වලට ආශා කරමින් කෙළවරක් නැති දේවල් දායකයන්ගෙන් ඉල්ලීමට නොවේ. එකල්හී සිටි සමහර භික්ෂූන්ට ද අද සිටින සමහර භික්ෂූන්ට ද මෙය වැටහී නොමැත. භාග්‍යවතුන් වහන්සේට ඉල්ලීම් සම්බන්ධයෙන් සිල් පද පවා පනවන්නට සිදු වුයේ ලද දෙයින් සතුටු නොවන භික්ෂූන් සිටි නිසාවෙනි. දායකයන් පින් බලාපොරොත්තුවෙන් නොයෙක් දේ දෙන්නට සූදානම් වෙති. එහෙත් භික්ෂුව සීමාව දැනගත යුතුය. මක් නිසා ද යත්, මෙය ස්වාක්ඛාත ශාසනයක් නිසාවෙනි. ස්වාක්ඛාත ශාසනයක, දායකයා දියයුතු ප්‍රමාණය දැන ගැනීමට අවශ්‍ය නොවේ. හේතුව පිළිගන්නා පාර්ශවය පමණ දන්නා බැවිනි.

අට්ඨිසේන ජාතකයේ අපගේ බෝසතාණන් වහන්සේට පාවහන් යුගලක් සහ තල් කොළ කුඩයක් අවශ්‍ය විය. එය රජතුමාගෙන් ඉල්ලා ගනිමියි සිතා ඉල්ලීමට නොහැකිව වසර දොළොසක් ගත විය. ඒ තරමට ඉල්ලීම යනු පීඩාවට පත්වන දෙයකි. බෝසත් අවධියේ අපගේ ශාස්තෘන් වහන්සේ එසේ නම් සම්බුද්ධත්වයට පත් වූ උන්වහන්සේ කෙසේ වන්නට ඇත්දැයි සිතා ගන්නට පවා නොහැකිය. එම නිසා ලද දෙයින් සතුටු වීම ගැන භාග්‍යවතුන් වහන්සේ නිතර වර්ණනා කළ සේක. එකල වැඩසිටි උත්තම සඟ රුවන ද ලද දෙයින් සතුටු වූ අයුරු අසිරිමත් ය. ගංගාතීරිය රහතන් වහන්සේ වදාළේ “මං ඉන්නේ ගං ඉවුරක. එහි මගේ කුටිය හදල තියෙන්නේ තල් කොළ තුනකින්. මගේ පාත්‍රයත් මළමිනීවලට පැන් ඉහින භාජනයක් වගේ. මං පොරවන්නේ පාංශුකූල සිවුරක්.”‍ යනුවෙනි. ප්‍රඥාවෙන් අග්‍ර වූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ “වළඳන දේ තෙත දෙයක් වෙන්න පුළුවන්, වේලිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. පමණ ඉක්මවා ගන්න හොඳ නෑ. කුසේ ඉඩ තියාගන්න ඕන. භික්ෂුවක් වාසය කරන්න ඕන ඒ විදිහටයි. භාවනාවට වාඩිවුණාට පස්සේ දණිස් දෙක වැස්සට තෙමෙන්නෙ නැත්නම්, අන්න ඒ විදිහේ කුටියක් වුවත් නිවනට යොමුකළ සිත් ඇති වීර්යවන්ත භික්ෂුවකට හරි පහසුවක්.” ‍කියලයි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා වේරංජ ගමේ වස් විසූ කල වස් විසීමට ආරාධනා කළ බ්‍රාහ්මණයාට එය අමතක විය. එකල්හී මහත් දුර්භික්ෂයක් ද හටගත් නිසා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වස් සාර මස පුරාවට වැළඳුවේ අශ්වයින්ට ලබා දෙන යව හාල් වංගෙඩියේ දමා කොටාගෙන ය. දිනක් මෝල්ගස් ගැටෙන හඬක් ඇසී භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් කරුණු විමසූ සේක. ආනන්ද ස්වාමීන් වහන්සේ කාරණාව දැන්වූ පසු භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ”සාදු සාදු ආනන්දයෙනි, සත්පුරුෂ වූ ඔබ විසින් දුර්භික්ෂය ද ලෝභය ද ජය ගන්නා ලදී. අනාගතයේ ජනතාව (භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා යවහාල් වළඳා සුවසේ වැඩසිටි බව දැන) මස් හා ඇල් හාලේ බතටත් අවමන් කරාවි.” යනුවෙනි. ඒ අවස්ථාවේ මහා මුගලන් මහරහතන් වහන්සේ පෘථිවි සාරය ගෙන භික්ෂූන්ට දෙන්නට ඇසූහ. භාග්‍යවතුන් වහන්සේ එය ද ප්‍රතික්ෂේප කළ සේක. එවැනි හැකියාවක් තිබෙද්දී පවා උන්වහන්සේලා දල දෙයින් සතුටු වීම ආශ්චර්යමත් නොවේ ද?

“සන්තුට්ඨස්සායං ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස – මේ ධර්මය තිබෙන්නේ ලද දෙයින් සතුටු වන අයට යි. ලද දෙයින් සතුටු නොවන අයට නොවේ.” යනුවෙන් ද මහා කාරුණිකයන් වහන්සේ අපට පෙන්වා වදාළ සේක. එසේ නම් ධර්මය තියෙන්නේ පමණ ඉක්මවා ආශාවන් පොදි බැඳගන්නා, අන් සතු දේ දැක හූල්ලමින් දුකසේ කල් ගෙවන ගිහියාටවත්‍‍්, කෙළවරක් නැතිව නොයෙක් දේ ඉල්ලමින් ගිහියන්ට ද කරදර කරන ළාමක ආශා ඇති භික්ෂූන්ටවත් නොවේ. පිරිකර සොයමින් කල් ගෙවන, ප්‍රමාදයේ ඇලී සිටින ලාභ සත්කාරවලට යට වුණ භික්ෂුන්ට ද නොවේ. ඇත්තෙන් ම මෙම ධර්මය ලද දෙයින් සතුටු වන උත්තමයන්ට ය. එසේ නම් ඔබත් නිරන්තරයෙන් උත්සහ කරන්න තමන්ට ලැබෙන්නේ යමක් ද ඉන් සතුටු වන්නට. එසේ නොමැතිව කෙළවරක් නැති බලාපොරොත්තු, ආශාවන් ගොඩ ගසාගෙන සුසුම් හෙලමින් ඉන්නට ගියොත් ඔබට ඉතිරි වන්නේ දුක ම පමණි. කිසිදා සතුටින් ජීවත් වීමට ද නොහැකිය. අවසානයේ මිය යන්නට සිදු වන්නේ ද අතෘප්තිමත් ආශාවන් ගොන්නක සිර වීමෙනි. එය ද ඉතා භයානක තත්ත්වයකි. ගිහි වේවා පැවිදි වේවා යම් කෙනෙක් ලද දෙයින් සතුටු වෙනවා නම් ඒ කාටත් ලොව ඕනෑම තැනක ඉතාම සතුටින්, පහසුවෙන් ජීවත් වීමට ඒකාන්තයෙන් ම හැකියාව ලැබේ. ඔවුන් ධර්මයේ සෑබෑම පිළිසරණ ලද්දෝ වෙති.


Like it? Share with your friends!

1

සතුටෙන් ඉන්න කැමති අය බලන්නම වෙනවා

log in

reset password

Back to
log in