Online Sinhala

Online Sinhala Magazine

පෘථිවිය අභ්‍යන්තරයේ යකඩ පියලි තට්ටුවක් ඇති බවට මතයක්

අධික උෂ්ණත්වයකින් සමන්විත පෘථිවි මධ්‍යය කෙරෙන් නිදර්ශන ලබාගැනීමට නොහැකි හෙයින්, විද්‍යාඥයන් විසින් එහි ස්වරූපය පිළිබඳ අධ්‍යයනයන් සඳහා යොදාගනු ලබන්නේ භූ තරංග විශ්ලේෂණයයි. මේ අනුව සිදුකළ නවතම පරීක්ෂණවලින් සොයාගත් විස්මිත වාර්තාවක් JGR Solid Earth නමැති ජාලගත ප්‍රකාශනයේ මෙවර කලාපයේ පළ වී ඇත. පෘථිවියේ මධ්‍යය යකඩ අංශුවලින් සැදි හිම පියලි වැනි ද්‍රව්‍යයකින් ආවරණය වී ඇතැයි එම අධ්‍යයන වාර්තාව පෙන්වාදෙයි. මෙම පියලි පෘථිවිය මත හමු වන හිම පියලිවලට වඩා වැඩි ස්කන්ධයකින් යුක්තය. එම යකඩ පියලි පෘථිවි අභ්‍යන්තරයේ උණු ද්‍රව කලාපයෙන් පහළට ඇදහැලී, ඇතුළත මදය වටා කිලෝමීටර් 3.2ක් දක්වා උසට ගොඩගැසී ඇති බව එම වාර්තාව සඳහන් කරයි.

අධ්‍යයනය සඳහා යොදාගනු ලැබූ භූ තරංග පෘථිවි කබොල හරහා නික්මෙන විට පටිගත කරගන්නා ලද බවත්, පසුව ඒවා විශ්ලේෂණයෙන් මෙම කරුණ හෙළිවූ බවත් එම විද්‍යාඥයෝ පවසති. පෘථිවි අභ්‍යන්තරයේ විවිධ ස්තර හරහා ගමන්කරන විට එම තරංග ගමන්ගන්නා වේගය විචලනය වීම, අදාළ අධ්‍යයන සඳහා පදනම් කරගෙන තිබේ. “ඒ ගැන සිතීම පවා මොළය අවුල්කරවනසුලුය.” යැයි වාර්තාවේ සම කර්තෘ, ඇමෙරිකාවේ ටෙනසි විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය නික් ඩයිගර්ට් සඳහන් කරයි. මෙම යකඩ පියලි තට්ටුවේ ඝනත්වය නැඟෙනහිර අර්ධගෝලයේ ඇති පමණට වැඩියෙන් බටහිර අර්ධගෝලයේ පවතින බව, භූ තරංග එම කලාපයන් හරහා ගමන් කරන විට වේගය වෙනස් වන ආකාරය විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය කරගත් බවද ඔහු පෙන්වාදෙයි. පෘථිවියේ අභ්‍යන්තරය කෙබඳුදැයි දිගු කලක් පුරා පැවැති ප්‍රශ්නයට මෙම අධ්‍යයනයෙන් හොඳ විසඳුමක් ලැබී ඇතැයි ඔහු ප්‍රකාශ කර ඇත.