දරුවන්ට මවුකිරි ලබාදෙන අම්මලා අනිවර්යේනම් දැනගන්න ඕනේ කරුණු 7ක්.


අපි හැමදාම කතා කරනවනේ අලුත උපන් පුංචි බබාලා මේ ලෝකෙට අලුත්, එයාලට හුරුවෙන්න කාලය ඕන කියලා. බබාලා විතරක්ම නෙමෙයි. හරියට බැලුවොත් අලුත උපන් බබෙක් ඉන්න අම්ම කෙනෙක් කියන්නෙත් අලුත්ම අලුත් තනතුරකට ටික ටික පුරුදු වෙන කෙනෙක්. ඉතින් ඒ තනතුරේ අලුත් වැඩ රාජකාරි ගැන එහෙම අත්දැකීමෙන්ම තමයි ඒ අලුත් අම්මටත් ඉගෙන ගන්න වෙන්නෙ. අන්න ඒ නිසා අපි හිතුවා අලුත් අම්මලාට උදව්වක් වෙන්න ඒ අලුත් රාජකාරියක් ගැන ටිකක් කතා කරන්න. ඒ තමයි මව්කිරි දීම. පළවෙනිම පාරට අම්ම කෙනෙක් වෙච්ච තරුණියකට මේ මව්කිරි දීම කියන එක ටිකක් විතර අභියෝගාත්මක කාර්යයක් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මව් කිරි දීම ගැන අම්ම කෙනෙක් දැනගෙන ඉන්න ඕන විශේෂ කාරණා එහෙම මොනවද කියලා.

1. කලින්ම තොරතුරු දැනගෙන ඉන්න

මව්කිරි දීම හරියටම ආරම්භ වෙන්නෙ බබා ඉපදුනාට පස්සෙ උනාට අලුත්ම අම්ම කෙනෙක් මේ මව්කිරි දීම ගැන මුල ඉඳලම, ඒ කිව්වේ බබා බන්ඩියේ ඉන්න කාලෙ ඉඳලම අධ්‍යයනය කරන්න ඕන. ඒ වෙනුවෙන්ම රජයේ සෞඛ්‍ය වෛද්‍ය නි​ලධාරී කාර්යාල වලින් ඒ කිව්වෙ MOH එකෙන් පවත්වන සායන හරහා විශේෂ සැසි පවා තියනවා. ඒ සැසි වලදී නිවැරදිව මව්කිරි දෙන්න ඕන ආකාරය, මව්කිරි දෙන අතරතුරේදී ඇතිවෙන්න පුළුවන් ගැටළු වගේ හුඟක් කාරණා ගැන අලුතෙන් අම්මලා වෙන්න ඉන්න අයව දැනුවත් කෙරෙනවා. පෞද්ගලික රෝහලක දරු ප්‍රසූතියට යන අම්මලාට උනත් මේ වගේ විශේෂ දේශනා ඒ පෞද්ගලික රෝහල් වලින්ම නොමිලේම පැවැත්වෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ මේ සම්බන්ධ ඕන තරම් ලිපි සහ වීඩියෝ එහෙමත් තියෙනවා. ඔය හැම දෙයක්ම පරිශීලනය කරලා පුළුවන් තරම් මේ ගැන දැනුවත්වෙලා ඉන්න තරමට අම්මටයි බබාටයි දෙන්නටම ලේසියි.

2. අලුත් අම්මලාගෙන් ඉගෙන ගන්න

මව්කිරි දීම ගැන අහල ඉගෙන ගන්න සායන වලදී හම්බවෙන මිඩ්වයිෆ් මිස්ලා වගේම හොඳම කට්ටියක් තමයි අලුත් අම්මලා. ලඟදි අම්මලා උණ, මව්කිරි දීම ගැන අලුතෙන්ම ඉගෙන ගත්ත අයගේ අත්දැකීම් වලිනුත් අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුට මේ ගැන හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. වැරදුන තැන්, එක එක බබාලගෙ කිරි බොන කාලසටහන් වගේ දේවල්.

3. මව්කිරි නිපදවීම

මව්කිරි නිෂ්පාදනය වෙන විදිහ ගැනත් අවබෝධයක් තියෙන්නම ඕන කිරිදෙන අම්මා කෙනෙක් උනහම. ඒ කියන්නෙ මෙන්න මෙහෙමයි. බබා ඉපදුනාම අලුත් අම්ම කෙනෙකුගේ පියයුරු වලින් කිරි ගොඩක් එන්නෙ නැහැනෙ. හැබැයි ඒක හරිම සාමාන්‍යයි. හුඟක් වැඩිහිටි කාන්තාවො “අපෝ කිරි මදි” කිය කිය අලුත් අම්මව අපහසුතාවයට පත් කරන්න උත්සහ කරන්න පුළුවන්. ඒ උනාට මුල් කාලෙ නිපදවෙන කිරි ප්‍රමාණය අලුතෙන්ම කිරි බොන්න පටන් ගත්ත පුංචි බබාට හොඳටම ඇති. බබා ටික ටික ලොකු වෙන්න වෙන්න, එයා වැඩිපුර කිරි උරාබොන්න බොන්න තමයි කිරි නිෂ්පාදනයත් ටික ටික වැඩිවෙන්නෙ. ඒ කියන්නෙ කිරි උරා බොන තරමට තමයි කිරි එරෙන්නෙ.

4. ඔය දෙන්නගෙම ක්‍රමයක්

මව්කිරි දීම වගේම මව්කිරි බීමත් එක එක බබාගෙන් බබාට වෙනස් වෙන්න පුළුවන්. ඉස්සරනම් වෛද්‍යවරු කිව්වෙ අනිවාර්යයෙන්ම දවල් රෑ දෙකේම පැය දෙකෙන් දෙකට බබාව ඇහැරවලා කිරි පොවන්න ඕන කියලා. ඒත් දැන් ඒ ක්‍රමය වෙනස්. ඒ කියන්නෙ බබා බඩගිනි වෙලා ඉල්ලන වෙලාවටයි කිරි දෙන්න ඕන. ඒක පැය දෙකක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්තම් පැය දෙකට වඩා අඩු හෝ වැඩි වෙන්නත් පුළුවන්. කිරි උරාබොන සම්මත කාලයත් විනාඩි 20ක් කියල කිව්වට ඒකත් බබාගෙන් බබාට සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. අම්මගෙ පියයුරේ කිරි වරකට ගබඩා වෙලා තියෙන ප්‍රමාණය සහ කිරි ගලාගෙන එන වේගය අනුව මේ හැමදේම වෙනස් වෙනවා. ඒ නිසා ඔය දෙන්නගේ පැටර්න් එක අඳුනගන්න ඕන අලුත් අම්මම තමයි.

5. මව්කිරි දෙන අතරතුර වේදනාව

මව්කිරි දෙන එක කිසිම විදිහකින් වේදනාකාරී නැහැ. වේදනාවක් දැනෙනවනම් ඒ කියන්නෙ මව්කිරි දෙන විදිහේ මොකක්මහරි ගැටළුවක් තියෙනවා කියන එකයි. බබාට මව්කිරි දීමේදී මුල ඉඳන්ම හරියට පියයුර බබාගෙ මුඛයට සම්බන්ධ උනේ නැත්තම් තනපුඩු තුවාල වෙන්න පුළුවන්. ඒක අම්මට වේදනාකාරී. ඒ වගේම බබාට හරියට කිරි පෙවෙන්නෙත් නැහැ. ඉතින් එහෙම ගැටළුවක්නම් ඉක්මනින්ම කාගෙන් හරි උදව්වක් ගන්න ඕන. මේ ගැටළු වලට පිළිතුරු දෙන්න රජයේ වගේම පෞද්ගලික අංශයේත් මාතෘ රෝහල් වල පැය 24 පුරාම විවෘත මව්කිරි දීමේ මධ්‍යස්ථාන තියෙනවා. ඒ සේවක මණ්ඩලය හරිම කරුණාවෙන් අලුත් අම්මටයි බබාටයි උදව් කරන්න සුදානමින් ඉන්නවා.

6. බඩගිනි නිවන්න විතරක්ම නෙමෙයි

ඔන්න මේකත් වැදගත් කාරණාවක්. මව්කිරි දෙනවා කියන්නෙ පුංචි බබාගෙ බඩගින්න නිවන එකට විතරක්ම නෙමෙයි. ඒක තමයි මූලිකම අරමුණ. හැබැයි මව්කිරි දෙන එකෙන් අම්මගෙයි බබාගෙයි සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වෙනව. අම්මටයි, බබාටයි එයාලගෙම කියලා නිදහස් වෙලාවක් ලැබෙනවා. බබාට හොඳ නින්දකට යන්න වගේම බයවෙලා ඉන්න වෙලාවක, වේදනාවකින් ඉන්න වෙලාවක එහෙම ඒ හැඟීම නැතිකරලා දාන්නත් අම්ම ලඟට වෙලා මව්කිරි උරාබොන එක උදව්වක් වෙනවා.

7. යකා කියන තරම්ම කළු නැහැ

අන්තිමට කියන්න තියෙන්නෙ මව්කිරි දෙනවා කියන වැඩේ ඔය හැමෝම කියන තරම් අමාරු වැඩක්නම් නෙමෙයි. කලින් ඉඳලම තොරතුරු දැනගෙන, ඔය කියපු කාරණා වලට අනුව මව්කිරි දෙනවනම් ඒක හරිම ආදරේ හිතෙන වැඩක් වේවි ඉක්මනටම. කොහොමටත් මේ අලුත්ම අම්ම කෙනෙකුට තියෙන මව්කිරි ගැටළුත් අනිත් ගැටළු වගේම මුල් මාස තුන යද්දි ටිකෙන් ටික අඩුවෙලා යනවා.


Like it? Share with your friends!

0

දරුවන්ට මවුකිරි ලබාදෙන අම්මලා අනිවර්යේනම් දැනගන්න ඕනේ කරුණු 7ක්.

log in

reset password

Back to
log in