ලොකයේ ගැඹුරුම ස්ථානය මරියානා අගාධය නොවේ


පෘථිවියේ ගැඹුරුම ස්ථානය ගැන විවිධ මත තිබුණු අතර එය ශාන්තිකර සාගරයේ මරියානා ආගාධය බවත් කියැවිණි. තවත් අදහස් කිහිපයක් තිබුණ මුත් මේ පුවතින් කියන්නේ තවත් කතාවකි. පෘථිවියේ ගැඹුරුම ස්ථානය නැඟෙනහිර ඇන්ටාක්ටිකාහි පිහිටි ඩෙන්මන් ග්ලැසියරය යටින් සොයාගෙන තිබීමෙන් මේ තොරතුරු අලුත් වූ බවක් පෙන්වයි. එහි තත්ත්වය මෙසේය. අයිස්වලින් පිරි ආගාධය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 3.5ක් (අඩි 11,500) ගැඹුරට විහිදී යයි. මීට වඩා ගැඹුරු ස්ථාන ඇත්තේ සාගරවලය. සුදු පැහැති මහද්වීපය පිළිබඳ අලුත් සිතියමක මේ නව සොයා ගැනීම් හේතුවෙන් සලකුණු කොට තිබේ. එමඟින් අයිස් තට්ටුව යට පිහිටි පාෂාණයේ හැඩය පිළිබඳ පෙර නොවූ විරූ තොරතුරු හෙළි කරයි. එහි ඇති ලක්ෂණ අවබෝධය සඳහා ඉතා වැදගත් වන්නේ ඉන් දක්ෂිණ ධ්‍රැවය අනාගතයේදී කෙසේ වෙනසකට ලක්වේදැයි දැනගත හැකි බැවින්ය. “මෙය ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව යට ඇත්තේ කුමක්දැයි යන්න පෙන්වන පැහැදිලි චිත්‍රයක්” යැයි අදාළ ව්‍යාපෘතිය තුළ වසර හයක් ක්‍රියාකළ ආචාර්ය මතීයු මෝර්ලිඝම් පැවැසීය. ඇමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු වන ඔහු ‘BedMachine Antarctica’ නමින් හැඳින්වුණු සිය නවතම තොරතුරු සංග්‍රහය ඇමෙරිකානු භූ භෞතික සංගමයට ඉදිරිපත් කළේය. එසේම ඊට සමගාමීව Nature Geoscience නම් සඟරාවේද පළකර ඇත. මහාද්වීපය පිළිබඳ ගුවනින් කරන ලද සමීක්ෂණවල පැවැති සියලු හිඩැස් අලුත් සිතියමින් සම්පූර්ණ වී ඇත.

අභ්‍යන්තරයේ ඇති පාෂාණවල භූ ලක්ෂණ හඳුනා ගැනීම සඳහා ක්ෂුද්‍ර තරංගයන් අයිස් තට්ටු විනිවිද යවමින් දශක ගණනක් පුරා රේඩාර් උපකරණ ඇන්ටාක්ටිකාව හරහා එහා මෙහා යොමු කෙරිණි. නමුත් දත්ත සොයා නොගැනුණු විශාල ප්‍රදේශයක් ඉතිරිව තිබේ. “සාගරවල ඇති ආගාධ මීට වඩා ගැඹුරුයි, නමුත් මෙය ගොඩබිමක ඇති ගැඹුරුම තැනයි“ යැයි ආචාර්ය මෝර්ලිඝම් පැහැදිලි කළේය. සාගරයේ ගැඹුරුම ස්ථානය බටහිර ශාන්තිකර සාගරයේ (පැසිෆික් සාගරය) පිහිටි මරියානා ආගාධයය. එය මුහුදු පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 11ක් ගැඹුරට විහිදේ. චීනයේ යාර්ලුන්ග් ට්සැන්පෝ වැනි උස් වූ පැති සහිත ගොඩබිම් අගාධ වෙතත් ඒවායෙහි පතුල පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමින් ඉහළය. ‘BedMachine Antarctica’ තොරතුරු සංග්‍රහයේ ඇතුළත් තොරතුරු වැඩි ප්‍රමාණයක් මීට පෙර සිතියම්වල වූ ඒවාට වඩා වෙනසක් නැති බව පෙනෙන්නට ඇත. නමුත් ධ්‍රැව පිළිබඳ විශේෂඥයන් අතර සැලකිය යුතු තරමේ සාකච්ඡාවක් ගොඩනැඟීමට තරම් වන ආකර්ෂණීය තොරතුරු ඒ අතර ඇති බව සමීපව නිරීක්ෂණය කළ විට පෙනේ. උදාහරණය වශයෙන් ගතහොත් මහ ඇන්ටාක්ටිකානු කඳුවැටි දිගේ මහාද්වීපයේ නැඟෙනහිර සානුවේ සිට රොස් මුහුද වෙත ඇදී යන ග්ලැසියර මාලාවක් තිබේ. නව දත්තවලින් පෙන්නුම් කෙරෙන පරිදි මේ ග්ලැසියර යටින් ඇති උස් වැටි නිසා එම ග්ලැසියර සානුවට ගලා යෑමේ වේගය සීමා කෙරෙනු ඇත.

රොස් මුහුද මත දැනට ඇති පාවෙන අයිස් තට්ටුව අනාගත උණුසුම් තත්ත්වයකදී අස්ථාවර කෙරෙන්නේ නම් මෙය වඩා වැදගත් වනු ඇත. මෙහි ඉවත්වීම හේතුකොටගෙන පෝෂක ග්ලැසියරයේ ඇදී යෑමේ වේගය වැඩිවනු ඇතැයි සාමාන්‍යයෙන් අපේක්ෂා කෙරේ. “රොස් මුහුදේ අයිස් තට්ටුවට කිසියම් දෙයක් වුණොත් _ දැනට එහි පවතින තත්ත්වය හොඳයි, ඒත් කිසියම් දෙයක් වුණොත් – මේ ‘ද්වාර’ තුළින් නැඟෙනහිර ඇන්ටාක්ටිකාව කඩා වැටීමේ තත්ත්වයක් බොහෝවිට උද්ගත නොවේවි. නැඟෙනහිර ඇන්ටාක්ටිකාවට යම් තර්ජනයක් වෙයි නම් ඒ රොස් මුහුදින් නෙවෙයි“ යන්න ආචාර්ය මෝර්ලිංහම්ගේ අදහසය. මහ ඇන්ටාක්ටිකානු කඳුවැටියේ පවතින මේ තත්ත්වය වෙනුවට ත්වයිටීස් ග්ලැසියරයේ වේගවත් දියවීමට එරෙහි අවහිරතා කිහිපයක්‘BedMachine Antarctica’ විසින් හඳුනාගනු ලැබ ඇත. ප්‍රමාණයෙන් එක්සත් රාජධානිය තරම් වන මේ විශාල අයිස් දහර, මහද්වීපයේ බටහිර දෙස පිහිටි ඇමුන්ඩ්සෙන් (Amundsen) මුහුදින් අවසන් වේ. ඉදිරි ශතවර්ෂවලදී පෘථිවි උෂ්ණත්වය ඉහළ යද්දී ඇන්ටාක්ටිකා මහාද්වීපය කෙසේ පරිණාමය වනු ඇද්දැයි ප්‍රක්ෂේපණය කිරීමට උත්සාහ දරන දේශගුණික ආකෘතිවලට ‘BedMachine Antarctica’ තොරතුරු සංග්‍රහයෙන් යම් පෝෂණයක් ලැබෙනු ඇත. මේ තොරතුරුද දැනගන්න.


Like it? Share with your friends!

0

ලොකයේ ගැඹුරුම ස්ථානය මරියානා අගාධය නොවේ

log in

reset password

Back to
log in