අවසන් හුස්ම යන මොහොතේදී දැනෙන දේ මෙන්න


අපි කවුරුවත් මරණයට පත්වන අවස්ථාවට තවම මුහුණ දී නැති නිසා මේ ජීවිතයේදී ‘මැරෙන්නේ කොහොමද?’ කියලා දන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි ‘මැරෙන වෙලාවේ දැනෙන වේදනාව කොයිතරම්ද?’ කියලත් කියන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ විතරක් නොවේ බටහිර දියුණු රටවලදීත් මේ ගැන සිතා බැලුවත් එය දැනගන්න විදියක් නැත්තේ මියගියාට පස්සේ ආයේ ඇවිත් ‘මම මිය යනකොට වුණේ මෙහෙමයි’ කියලා එම ආත්මභවයේදී කෙනකුට කියන්න ඉඩක් නොලැබෙන නිසයි. නමුත් ‘මැරෙන එකත් මහ පණ යන වැඩක්’ විදියට සමහරු හඳුන්වන්නේ මෙහි ඇති තේරුම්ගත යුතු ගැඹුරු පැත්තක් අමතක කරලයි. මැරෙන එකත් පණ යන එකත් තේරුම් ගත්තේ එය ගුප්ත බියකරු වචනයෙන් විස්තර කර දෙන්නට බැරි වන දෙයක් හැටියටයි. ආසියාතික බොහොමයක් අය සිතන්නේ මරණයට පත්වෙද්දී ලෝකයේ තියෙන නරකම දරුණුතම වේදනාවට මුහුණදීමට සිදුවන බවයි. විසි වැනි සියවසේ දෙවැනි භාගය වන විට බටහිර වෛද්‍යවරු මේ ගැන ඉතා ගැඹුරින් කල්පනා කරන්නට පටන් ගත්තා. මේ අත්දැකීම විස්තර ඇතිව දැන ගන්නට කිසියම් පිළිගත හැකි විද්‍යාත්මක පසුබිමක් අත්දැයි සොයා බලන්නට මේ අය නිරතුරුවම පෙලඹුණා. නමුත් මොන තරම් විදිමත් ලෙස මේ පර්යේෂණයන් සිදු කළත් මෙම වෛද්‍යවරුන්ට උපකරණයක ආධාරයෙන් තොරතුරු වාර්තා කර ගන්නට හැකි තත්ත්වයක් දියුණුවක් නම් ලබා ගන්නට පුළුවන් වුණේ නැහැ.

අද බටහිර රටවල වඩාත් ජනප්‍රිය මරණාසන්න අත්දැකීම් ගැන කළ පර්යේෂණ අලලා සකස් කළ පොත්පත්වලට මහත් ඉල්ලුමක් ලැබී තියෙන්නේ එම විෂයේ සැඟවුණු තොරතුරු දැන ගන්නට පවතින දැඩි උනන්දුව නිසයි. මරණාසන්න අත්දැකීම් (Near Death Experience) ගැන පර්යේෂණ උනන්දුවක් ඇති ඇමෙරිකාවෙත් මේ තත්ත්වයේ වර්ධනයක් දකින්නට ලැබෙනවා. ඇමෙරිකානු ඇතැම් පර්යේෂණවල ස්වභාවය ගැන විමසා බලද්දී ඔවුන් බොහෝ විට මේ කරුණු සනාථ කරගන්න උපයෝගි කරගන්නේ පුද්ගලයන් මෝහනයට පත් කිරීමයි. පුද්ගලයකු මෝහනයට පත්කොට මනස අතීතයට යවා අවසානයේ එම ජීවිතය කෙළවර වූ හැටිත් මරණයට පත්වන විට දැණුනු අත්දැකීම්වල හැටිත් විස්තර කරන්නට යුහුසුළු වුණා. මෙවන් පර්යේෂණ රාශියක් සිදුකළ වෛද්‍යවරුන් රැසකගේ අදහස වූයේ මරණයට පත්වන අවස්ථාවේ පුද්ගලයන්ට ‘අප්‍රසන්න වූ වේදනාවක්’ නැති බවයි. එහි හරය පිළිබඳව කියනවා නම් එය සැකෙවින් මෙහෙමයි. ‘මැරෙනකොට වේදනාවක් දැනී ගියේ නැහැ. ඒක හරියට සිහි නැතිවීමක් වගේ එක්වරටම අමුත්තක් දැනීමක්’ පර්යේෂකයන් මෙම තොරතුරු අනුව අද පිළිගන්නා දෙයක් වී ඇත්තේ මරණයට පත්වන විට සිහි නැතිවී යෑමක් වගේ තත්ත්වයකට ශරීරය දුර්වල වන විට ප්‍රාණය ඉවත්ව යන බවයි. එය මරණයට පත්වන අවස්ථාවේදී පමණක් ඒ අනුවම සිදු වන්නේ ඇයි ද කියා තවමත් සොයාගෙන නැහැ. මැරෙන මොහොත මේ වාගේ සිහි නැති වීමක් ඇති වෙන්නේ මරණයේ වේදනාව නොදැනී තියෙන්නට අවශ්‍ය නිසා බවයි ඔවුන් කියන්නේ. බොහෝ බෞද්ධ කතා පොත්වල එන ‘නිදා සිටියකු අවදිවන්නා සේ’ යන ව්‍යවහාරය තුළින් කියන්නට උත්සාහ කරන්නේ ස්වභාව ධර්මයා විසින් මරණයේ වේදනාව නැති කිරීමට මෙම සිහි නැති වීම ඇතිවන බවයි.

නමුත් ඔබ සිතාවි ‘ගුවන් අනතුරකට, රිය අනතුරකට ලක් වූ පුද්ගලයන්ට මේ වේදනාව දැනෙන්නේ නැද්ද?’ කියලා සැබැවින්ම මේ ගැනත් සිත යොමු කරලා පර්යේෂකයෝ කරුණු ඒකරාශී කරගෙන තියෙනවා. රිය අනතුරකින් එසැණින්ම මියගිය කෙනකුට ශාරීරිකව ඇති වන තුවාල නිසා වැඩි වේලාවක් වේදනාවක් දැනෙන්න බැරි බව කියනවා. හරියට හිටිගමන් සමහරුන්ගේ ඇඟිල්ල බ්ලේඩ් තලයකට පිහියකට කැපෙන කොට දැනෙන වේදනාව වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් බවයි කියන්නේ. හදිසි රිය අනතුරකින් ශරීරය පොඩි පට්ටම් වී ගිය සැණින් ප්‍රාණය ඉවත් වෙනවා නම් වේදනාවක් රැඳී තියෙන්න බැරි බවයි ඉන් කියැවෙන්නේ. සමහරු ශාරීරික තුවාල සහිතව හදිසි අනතුරකට ලක් වෙලා රෝහලේ ඇඳ මත මරණයට පත්වන තුරු වද වේදනා විඳීම මීට අයත් වන්නේ නැහැ. මරණය වන විට වේදනාවක් දැනෙනවාද? නැද්ද? යන්න පමණක් සිහියේ තබාගෙන සොයා බැලීම මෙහිදී වැදගත් වෙනවා. ගසකින් ඇද වැටුණු ගෙඩියක් හිසමත පතිත වීමෙන් හිස් කබලට හානි වීමෙන් සිහි නැතිව දින 10 – 15 හෝ ඊට වැඩි කාලයක් රෝහල් ගත කොට තිබියදී සමහරු එම තත්ත්වයේදීම මියයනවා. එවන් අයට මරණයේ වේදනාව නොදැනීම සිදුවන බවයි කියැවෙන්නේ. කලාතුරකින් අහන්න ලැබෙන ඇතැම් සිදුවීම් අතර ඔබ අහලා ඇති. ‘හොඳට ඊයේ රෑ කතා කර කර හිටියා. නිදාගත්තා. ඒ ඉරියව්වෙන්ම උදේ නින්දෙදිම මැරිලා’ වගේ දේවල්. ඔවුන් මියගියේද එවන් තත්ත්වයකින් බව මේ අනුව සිතා ගන්නට අපහසු නැහැ. ඔය කොයි තත්ත්වයෙන් උපකල්පනය කළත් පර්යේෂණය කළත් ඇමෙරිකානු විද්‍යාඥයන්ගේ පර්යේෂණ තවමත් ඉදිරියට යමින් තියෙනවා.

එම මොහොතේ මරණාසන්න වේදනාව සනිටුහන් කරගත හැකි කිසියම් ක්‍රමයක් ඇද්දැයි ඔවුන් සොයා බලමින් පසුවන්නේ ඒකයි. නමුත් පුද්ගලයන් මෝහනයට පත්කොට අතීතයට සිත යොමු කොට තොරතුරු ලබා ගනිද්දී ඒ සියලු දෙනාම කියූ දෙයක් තමයි ‘මැරෙන මොහොත වේදනාවක් දැනුණු බවක් තේරුණේ නෑ’ කියලා. බොහෝ විට ජීවත්ව සිටින අය මරණය ගැන මහත් භීතියකින් පසු වෙනවා. තමන් කළ කී දේවල් හොඳින්ම දන්නේ තමන් විසින්ම නිසයි. කළ දේවල්වල හැටියට ‘මොන විදියේ මරණයක් අත්වෙයිද?’ ඒක කොයි තරම් වේදනාකාරීද?’ කියලා කිරා බලමින් සිතින් තක්සේරු වාර්තා හදන්නේ ඒකයි. කොයි හැටි වෙතත් වැඩියෙන් වැරැදි වැඩ වගේම බිහිසුණු අපරාධ කරපු අයගේ සිතට නොයකුත් බියකරු චිත්‍රයන් මැවෙන්නේ. ඒ ගැන සිත සිතා තැවෙන්නේ ප්‍රතිවිපාක මරණයේදී පලදේවි කියලා හිතෙන නිසයි. (ත්‍රිපිටක සාහිත්‍යයේ එන විමාන වත්ථු – ප්‍රේත වත්ථු කතාවල මේ ගැන අපමණවත් තොරතුරු ගැබ් වෙනවා.) කොහොම වුණත් පර්යේෂකයන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ කෙසේ හෝ මේ මරණාසන්න අවස්ථාව වාර්තා කරගත හැකි දියුණු ක්‍රමයක් සොයා ගැනීම මඟින් මේ පිළිබඳව කියැවෙන පිළිගත හැකි මට්ටමේ කාරණාවල සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමටයි. ඒ සඳහා මෝහනයට පත්කොට අතීතයට යනවා වගේම සැබැවින්ම මරණයට පත්වන කෙනකුගේ එම අවස්ථාවේ චිත්ත වේගයන් හා ඒවායේ සංවේදී බව වෙනස් වෙමින් තොරතුරු හුවා දැක්වීමක් දක්වා දියුණු කර ගන්නට පුළුවන් සොයා ගැනීමක් වෙනුවෙන් ඔවුන් වඩාත් වෙහෙසනවා.

ඇතැම් පර්යේෂකයන් පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනය කරමින් පැමිණ බෞද්ධ දර්ශනයේ එන ගැඹුරු තැන් ගැන වඩාත් අවදියෙන් යුතුව සොයා බලන්නේ මේ සියලු කරුණුවල සත්‍යතාව ගැන පසක් කර ගැනීමට බැව් ප්‍රකාශ වෙනවා. එබැවින් පෙරදිග අපට මෙන්ම අපරදිග අයටත් මරණයට පත්වන මොහොතේ ඇති වන හැඟීම් සහ වේදනාවන් දැන හැඳින ගැනීමේ ආශාවක් උනන්දුවක් ඇති වීම තුළින් වඩාත් තොරතුරු හෙළි වීම වළක්වාලන්නට අනාගතයේ බැරි වේවි.


Like it? Share with your friends!

0

අවසන් හුස්ම යන මොහොතේදී දැනෙන දේ මෙන්න

log in

reset password

Back to
log in